free web stats

ඔස්කාර් සඳහා ශ්‍රී ලංකාවේ චිත්‍රපට වලින් අයදුම්පත් කැඳවයි

2027 වසරේ පැවැත්වෙන 99 වැනි ඔස්කාර් සම්මාන උළෙල සදහා අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන චිත්‍රපටය තෝරා ගැනීමට අයැදුම්පත් කැඳවා ඇතැයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ 99 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිල නියෝජනයක් ලබාගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් ඉදිරිපත් කළ බවත්, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ඔස්කාර් සම්මාන උළෙලේ සංවිධායකයන් වෙත සිදු කළ විශේෂ ඉල්ලීම අනුමත කිරීමෙන් අනතුරුව මෙම ඓතිහාසික අවස්ථාව උදා වූ බව වැඩ්දුරටත් පැවසූවා.

ඒ අනුව විශේෂ තේරීම් කමිටුවක් පත් කර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔස්කාර් සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කෙරෙන චිත්‍රපටය තෝරා ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මේ සඳහා අයැදුම්පත් කැඳවීම සිදුකරන අතර, 2026 අගෝස්තු 24 සිට සැප්තැම්බර් 21 දක්වා අයැදුම්පත් භාරගනු ලැබෙනවා.

සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුව (NOSCSL) විසින් ඉදිරිපත් වන චිත්‍රපට නරඹා ඡන්ද විමසීමක් මගින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සුදුසුම චිත්‍රපටය තෝරා ගැනීමට නියමිතයි.

තෝරාගනු ලබන නිල චිත්‍රපටය 2026 සැප්තැම්බර් 28 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, අයැදුම්පත් office.noscsl@gmail.com විද්‍යුත් ලිපිනය වෙත යොමු කළ හැක.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වසන්ත කොටුවැල්ල මහතා, සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා පාලන) ලංකා ධර්මවික්‍රම මහතා, රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපති අනුරුද්ධ ජයසිංහ මහතා සහ විදේශ චිත්‍රපට උළෙලවල් සම්බන්ධීකාරක උදිත ලක්මාල් කහඳවආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *