free web stats

අනුර ජනපතිතුමා ජනාධිපතිවී අදට වසර දෙකයි

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට (21) වසර දෙකක් සම්පුර්ණ වනවා.

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.

එම මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,634,915ක් එනම් 42.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජනාධිපති ධුරයට පත් වූවා.

ජයග්‍රහණයෙන් පසු 2024 සැප්තැම්බර් 23 වනදා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අතර, පසුව ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කරමින් සැප්තැම්බර් 24 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්තා.
ඉන් අනතුරුව 2024 නොවැම්බර් 14 වනදා පැවැත්වුණු 10 වන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වුණා.

එහිදී ජාතික ජන බලවේගය මුළු ඡන්ද 6,863,186ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 159ක් එනම් ඡන්ද කොට්ඨාස මගින් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු ආසන 18ක් දිනා ගත්තා.

මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එක් පක්ෂයක් ලබාගත් විශාලතම බහුතර ආසන සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද ප්‍රතිශතය වනවා.

මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් පිරීම නිමිත්තෙන් “අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” තේමාව යටතේ දිවයින පුරා දැවැන්ත ජන රැලි මාලාවක් සංවිධානය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලි මාලාව මගින් ගතවූ වසර දෙක තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණ, ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සහ ඉදිරි දැක්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ධුර කාලයේ වසර දෙකක ප්‍රගතිය සැලකීමේ දී ආර්ථිකය තවදුරටත් ස්ථාවර කර ගැනීම, ඉහළ මූල්‍ය විනය, රජයේ ආදායම් තවත් ඉහළ නංවා ගත් වසරක් වීම, අපනයන ආදායම් වර්ධනය, සංචාරක ආදායම් ඉහළ යාම, විදේශ විනිමය ප්‍රේශන ඉහළ නංවා ගැනීම, වරාය මෙහෙයුම් ලාභ ඉහළ නංවා ගැනීම, රේගු ආදායම් ඉහළ නංවා ගැනීම, නීතියේ විධානය හා ආධිපත්‍ය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ආයතන ස්වාධීන කිරීම, නව අණපනත් සම්මත කිරීම, මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමට පියවර ගැනීම සහ විදේශ සබඳතා ශක්තිමත් කිරීමට ගත් පියවර කැපී පෙනෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *