බැසිල් නිල් නිවේදනය බාරගනියි
මෙරට විභාග වන නඩු කිහිපයකට අවශ්ය කරන සැකකරුවකු වන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණ කටයුතුවලට මෙරටට ගෙන්වා ගැනීමට අවශ්ය මූලික පියවර තබමින් ඔහුට එරෙහිව ජාත්යන්තර පොලීසිය මඟින් නිල් නිවේදනයක් (Blue Notice) නිකුත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
සංචාරක ප්රවර්ධන කටයුතු සඳහා ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය විසින් වෙන් කර තිබුණු රුපියල් මිලියන 7.8ක මුදලක් 2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණ සමයේදී එවක සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහ දේශපාලන පක්ෂයක නම සහිතව මැතිවරණ ප්රචාරක ටී-ෂර්ට් 12,000ක් මුද්රණය කිරීමට නීතිවිරෝධි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක බැසිල් රාජපක්ෂ මහතා චුදිතයෙකි. රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වූ එම නඩු කටයුත්තට අදාළව දිගින් දිගටම අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක්ද නිකුත් කර ඇත.
මෙම නඩු කටයුත්තට අදාළව බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ජාත්යන්තර පොලීසිය මඟින් මෙම නිල් නිවේදනය ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ශ්රී ලංකාව තුළ විභාග වන නඩුවලට අදාළව අවශ්ය කරන පුද්ගලයන් සොයාගැනීම සහ මෙරටට ගෙන්වා ගැනීමේ ප්රයත්නයන් තීව්ර කරමින්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂට එරෙහිව අන්තර්ජාතික පොලීසිය නිල් නිවේදනයක් නිකුත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතාද පවසනවා.
ශ්රී ලංකාවේ නීතිමය ක්රියාමාර්ගවලට මුහුණ නොදී විදේශයන්හි රැඳී සිටින හිටපු දේශපාලනඥයන් සහ අනෙකුත් සැකකරුවන් නීතිය හමුවට පැමිණවීමට රජය අන්තර්ජාතික නීති බලාත්මක කිරීමේ යන්ත්රණයන් භාවිත කරමින් සිටින බවද අමාත්යවරයා සඳහන් කර තිබෙනවා.
බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව අයථා ලෙස උපයා ගත් මුදල්වලින් මාතර බ්රවුන්ස් හිල්හි පිහිටි අක්කර 1.5ක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිල දී ගැනීමට අදාළ නඩුවක්ද මුදල් විශුද්ධිකරණ පනත යටතේ විභාග වේ. එම නඩුවටද දිගින් දිගටම පෙනී නොසිටීම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණය විසින්ද වරෙන්තු නිකුත් කර තිබේ.
නඩු කටයුතුවලදී ඔහුගේ නීතිඥයන් අධිකරණය හමුවේ ප්රකාශ කරනු ලබන්නේ විදේශගතව ප්රතිකාර ලබන බැසිල් රාජපක්ෂ මහතා පවතින රෝගී තත්ත්වය මත ගුවන් ගමන් සඳහා නුසුදුසු මට්ටමක සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් වෛද්ය වාර්තාද අධිකරණයට නීතිඥවරු ඉදිරිපත් කර ඇත.
අමෙරිකාවේ පදිංචිව සිටින බව කියන බැසිල් රාජපක්ෂ මහතා නිශ්චිතවම අමෙරිකාවේ රැඳී සිටින ලිපිනය අනාවරණය කර ගනිමින් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට අධිකරණ දැනුම්දීම සිදු කිරීමට නිල් නිවේදනය මුලින්ම නිකුත් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසූවා.
නිල් නිවේදනය නිකුත් කරනු ලබන්නේ අනන්යතාව, ඔහු සිටින ස්ථානය (Location) හෝ ඔහුගේ ක්රියාකාරකම් පිළිබඳ අමතර තොරතුරු රැස් කිරීම සඳහා බවද එම නිලධාරියා පැවසූවා.
නිල් නිවේදනය මඟින් ලබාගන්නා තොරතුරුවලට අනුව ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීමේ නියෝගය අමෙරිකාවට යොමු කරන බව එම නිලධාරියා පැවසූවා.
ඒ අනුවද ඔහු තවදුරටත් අධිකරණය මඟහැර සිටීනම් ජාත්යන්තර පොලීසිය මඟින් රතු නිවේදනයක් ලබාගැනීමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසූවා.

