බ්රිතාන්ය ඉතිහාසයේ ඉහළම ඩීසල් මිල වාර්තා වෙයි
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතු වූ බලශක්ති අර්බුදය තවදුරටත් උත්සන්න වීමත් සමඟ බ්රිතාන්යයේ ඩීසල් ලීටරයක මිල ඉතිහාසයේ පළමුවරට පවුම් 1.99 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට රාජකීය මෝටර් රථ සමාජයේ ඉන්ධන දත්ත විශ්ලේෂණයට අනුව බ්රිතාන්යය තුළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම ඩීසල් මිල එය බව බීබීසී පුවත් සේවය වාර්තා කළා.
මීට පෙර එරට ඩිසල් ලීටරයක ඉහළම මිල වාර්තා වී ඇත්තේ 2022 වසරේ රුසියානු-යුක්රේන යුද්ධයේ ආරම්භක කාලසීමාවේදී බවත්, එවර ඩීසල් ලීටරයක මිල පවුම් 1.98 දක්වා ඉහළ ගිය බවත් වාර්තා වේ.
ඉරාන යුද්ධය හේතුවෙන් පසුගිය මාස 7ක කාලය තුළ බ්රිතාන්යයේ තොග තෙල් නිෂ්පාදනයට සහ ප්රවාහනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, පසුගිය පෙබරවාරියේ සිට මේ දක්වා ඩිසල් ලීටරයක මිල 40%කින් ඉහළ ගොස් ඇතැයි ද බ්රිතාන්ය රාජකීය මෝටර් රථ සමාජයේ දත්තවලින් පෙන්නුම් කර තිබේ.
ඩීසල් මිලට සමගාමීව පෙට්රල් මිල ද තවදුරටත් ඉහළ යමින් පවතින බවත්, යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා පෙට්රල් ලීටරයක මිල 35%කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.
බ්රිතාන්යයේ භාවිත කරන ඉම්පීරියල් ගැලුමක (ලීටර් 4.55ක් පමණ) මිල මේ වන විට පවුම් 9.06ක් වන අතර, පෙට්රල් ඉම්පීරියල් ගැලුමක මිල පවුම් 7.92 දක්වා ඉහළ ගොස් තිබේ.

