යේමන රජයේ හමුදාව රතු මුහුදේ බලය අල්ලයි
යේමන රජයේ හමුදාව හවුති සන්නද්ධ සංවිධානයට එරෙහිව දැවැන්ත ප්රහාර මාලාවක් ආරම්භ කරමින් රතු මුහුදේ බාබ් අල් මන්ඩේබ් සමුද්ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරනවා.
සවුදි අරාබියේ ගුවන් හමුදාවේ සහය ඇතිව මේ ප්රහාර සිදු කර ඇති අතර, මීට පෙර හවුති සංවිධානය අත්පත් කරගත් රතු මුහුදේ පිහිටි මොකා දූපත් නගරයේ බලයත් තහවුරු කරගත් බව යේමන හමුදාව නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත් එම නිවේදන හවුති සාමාජිකයන් ප්රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.
හවුති පාලනය යටතේ පවතින යේමනයේ සනා අගනුවර පිහිටි ඔවුන්ගේ ආයුධ ගබඩා සහ ගොඩනැඟිලි ඉලක්ක කරමින් සවුදි අරාබියෙන් ප්රබල ගුවන් ප්රහාරයක් සිදු කර ඇති අතර, රතු මුහුද ආසන්නයේ වෙරළබඩ කලාපයේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මධ්යස්ථානවලට ද දැවැන්ත ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
මේ අතර හවුති සංවිධානයේ පාලනය යටතේ පවතින දකුණු යේමනයේ පිහිටි දුබාබ් ගුවන්තොටුපොළේ බලය ද තහවුරු කරගත් බව යේමන රජයේ හමුදාව ප්රකාශ කර ඇති බවත්, වසර 12කට පෙර සිවිල් යුද්ධයෙන් හවුති සංවිධානය අත්පත් කරගත් සනා අගනුවර ඇතුළු නගර රැසක බලය ලබාගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කළ බව සඳහන් කර ඇත.
සවුදි අරාබියේ ප්රහාරක ජෙට් යානා මඟින් යේමන රජයේ හමුදාවට විසිහතර පැය පුරාම ගුවන් සහය ලබාදී ඇතැයි ද වාර්තා වෙනවා.
හවුති සංවිධානය විසින් පාලනය කරනු ලබන එරට අල් මසීරා රූපවාහිනී නාළිකාව වාර්තා කර ඇත්තේ සවුදි ගුවන් ප්රහාරවලින් පාසල් දැරියක් සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ බවයි.

