free web stats

ජූනි වලට කල්ගිය යෝෂිතගේ නඩුව

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජූනි මස 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ මෙම නඩුව අද (24) කැඳවනු ලැබුවා.

එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට සමගාමී තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කළා.

එම නඩුව සඳහා සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනුකිරීම සඳහා නියම වී ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා ඒ අනුව මෙම නඩුව සඳහාද සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට සිදුවනු ඇති බවත් පෙන්වා දුන්නා.

ඒ පිළිබඳ කටයුතු වල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම නඩුව ජුනි මස 10 වනදා යළි කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළා.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වනදා අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි රුපියල් මිලියන පනස් නවයකට අධික මුදලක් පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *