අවුරුද්දට ගමට යන්න පොදු ප්‍රවහන සේවයේ සාර්ථක වැඩ පිළිවෙලක්
අලුත් අවුරුද්දට ජනතාවට ගම්බිම් බලා යෑමට ඇති තරම් බස් රථ සහ දුම්රිය යොදා ඇතැයි ප්‍රවාහන බලධාරීන් පවසනවා.
ගම්බිම් බලා යන සහ ගම්බිම්වල සිට නැවත කොළඹට පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් අමතර බස් රථ 1500ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා සඳහන් කළා.
අද (09) සිට ලබන 13 දක්වා කොළඹින් බැහැරට යෑමටත් 15 දා සිට 21 දක්වා කොළඹට පැමීණීමටත් මෙම අතිරේක බස් රථ යොදවා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසූවා.
පළාත් 9 ම කේන්ද්‍ර කරගනිමින් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ කරගෙන අමතර බස් ඇණි ගමනාගමන කටයුතු සඳහා යොදා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළා.
සාමාන්‍ය දුම්රිය ගමන් වාරවලට අමතරව මගී ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය රැසක් යොදා ඇතැයි දුම්රිය ධාවන අධිකාරි අසංග සමරසිංහ මහතා කියා සිටියා.
මෙම කාලය තුළ ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව පැවසූ ලංගම සභාපතිවරයා චාරිකා සඳහා බස් රථ දීම මෙම කාලය තුළ අත්හිටුවා ඇතැයිද වැඩිදුරටත් පැවසූවා.
එමෙන්ම මෙම කාලය තුළ මගී ජනතාවට දුම්රිය පිළිබඳ පැමිණිලි සහ විමසීම් සඳහා දුරකතන අංක 1971 ද ලංගම සඳහා පැමිණිලි සහ විමසීම් සඳහා දුරකතන අංක 1958 ද පෞද්ගලික බස් රථ විමසීම් සඳහා 1955 දුරකතන අංක අමතන ලෙස ද ප්‍රවාහන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

