සෝනියා ගාන්ධි රෝහල්ගත කෙරේ
ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි රෝහල්ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
79 හැවිරිදි කොංග්රස් නායිකාව වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා ගුරුග්‍රාම් පෞද්ගලික රෝහලට ඇතුළත් කළ බව කොංග්රස් පක්ෂයේ නිවේදනයක සඳහන් කර තිබේ.
එරට එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කරන්නේ, සුළු සැත්කමක් සඳහා සෝනියා ගාන්ධි රෝහල්ගත කර ඇති බවයි.
ඊයේ පස්වරුව වන විටත් ඇය වෛද්‍ය පරීක්ෂණවලට භාජන වෙමින් සිටි බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් ඇය මේ වසරේදී රෝහල්ගත කළ තුන්වැනි අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
මීට පෙර පසුගිය ජනවාරියේදී නවදිල්ලි නුවර අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්වසන අපහසුතා මත රෝහල්ගත කළ සෝනියා ගාන්ධි දින කිහිපයක් ප්‍රතිකාර ගෙන තිබූ අතර, පසුගිය මාර්තු මාසයේදී අධික උණ තත්ත්වයක් හේතුවෙන් නවදිල්ලි නුවර ගංගා රාඕ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ශරිරය පුරා ආසාදනයක් හටගෙන ඇතැයි තහවුරු වී තිබුණා.

