සුපිරි ඕවරයෙන් ජයගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම
සදීර සමරවික්‍රම පසු පෙළ පිතිකරුවන් සමඟ එක්ව ක්‍රියාත්මක කළ සටන්කාමී ඉනිම හේතුවෙන් ලකුණු සම වූ ඉන්දීය ‘ඒ’ පිලට එරෙහි තරගය සුපිරි ඕවරයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් ව්ය.
මේ ජය සමඟ තරගාවලියේ පෙරමුණේ සිටින ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4ක් වූ අතර, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය ලකුණු 2 බැගින් ලබා සිට්යි.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘ඒ’ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලෙස ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 49.2කදී ලකුණු 265කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 265ක් පමණයි.
මේ හේතුවෙන් සුපිරි ඕවරය ක්‍රියාත්මක කළ අතර, එහිදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් සහන් ආරච්චිගේ පන්දු 3කින් ලකුණු 6ක් සහ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 4කින් ලකුණු 7ක් රැස් කළ අතර, අතිරේක ලකුණු 3ක් ද සමඟ ශ්‍රී ලංකාව ලකුණු පුවරුව 16ක් විය.
පිළිතුරු ඉනිම සඳහා අයිපීඑල් වීරයා (වෛභව් සූර්යවංශි) සමඟ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සූර්යන්ෂ් ෂෙජ් පිටයට පිවිසි අතර, කුගදාස් මාතුලන් ක්‍රියාත්මක කළ එම ඕවරයෙන් සූර්යවංශිට (7) සහ ෂෙජ්ට (3) රැස් කළ හැකි වූයේ ලකුණු 10ක් පමණයි.
මේ තරගයේ ලකුණු 265 හඹා යෑමේදී ලකුණු 75කට කඩුලු 2ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි සදීර සමරවික්‍රම පසු පෙළ පිතිකරුවන් සමඟ එක්ව ඉනිම ගොඩනැඟූ අතර, පන්දු 113කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 93ක් රැස් කළ ඔහු 8 වැනි කඩුල්ල දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 261ක් විය. වනුජ සහන් (25), විජයකාන්ත් වියස්කාන්ත් (18) සහ චාමික ගුණසේකර (18) ඔහුට ඉනිම ගොඩනැඟීමට අනගි සහයක් ලබා දුන්නා.
ඉන්දීය පිල වෙනුවෙන් සූර්යන්ෂ් ෂෙජ් පන්දු 66කින් ලකුණු 72ක් සහ විප්රාජ් නිගම් පන්දු 49කින් ලකුණු 51ක් රැස් කළ අතර, මේ තරගාවලියේදී පිට පිට තෙවැනි වරටත් ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් හිමි නොවූ වෛභව් සූර්යවංශිගේ ඉනිම පන්දු 14කදී ලකුණු 21කට සීමා විය.
පන්දු යැවීමේදී විජයකාන්ත් වියස්කාන්ත් සහ මොහොමඩ් ශිරාස් කඩුලු 3 බැගින් දවා ගත්තා.

