free web stats

සුපිරි ඕව­ර­යෙන් ජයගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම

සදීර සම­ර­වි­ක්‍රම පසු පෙළ පිති­ක­රු­වන් සමඟ එක්ව ක්‍රියා­ත්මක කළ සට­න්කාමී ඉනිම හේතු­වෙන් ලකුණු සම වූ ඉන්දීය ‘ඒ’ පිලට එරෙහි තර­ගය සුපිරි ඕව­ර­යෙන් ජය ගැනී­මට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩ­කයෝ සමත් ව්ය.

මේ ජය සමඟ තරගාවලියේ පෙර­මුණේ සිටින ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4ක් වූ අතර, ඉන්දි­යාව සහ ඇෆ්ග­නි­ස්තා­නය ලකුණු 2 බැගින් ලබා සිට්යි.

දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන ‘ඒ’ කණ්ඩා­යම් අතර තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලියේ සිව්වැනි තර­ගය ලෙස ඊයේ පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ඉන්දීය පිල ඕවර 49.2කදී ලකුණු 265කට දැවී ගිය අතර, පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඕවර 50 අව­සා­නයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 265ක් පමණයි.

මේ හේතු­වෙන් සුපිරි ඕව­රය ක්‍රියා­ත්මක කළ අතර, එහිදී පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනු­වෙන් සහන් ආර­ච්චිගේ පන්දු 3කින් ලකුණු 6ක් සහ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 4කින් ලකුණු 7ක් රැස් කළ අතර, අති­රේක ලකුණු 3ක් ද සමඟ ශ්‍රී ලංකාව ලකුණු පුව­රුව 16ක් විය.

පිළි­තුරු ඉනිම සඳහා අයි­පී­එල් වීරයා (වෛභව් සූර්ය­වංශි) සමඟ ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ සූර්යන්ෂ් ෂෙජ් පිට­යට පිවිසි අතර, කුග­දාස් මාතු­ලන් ක්‍රියා­ත්මක කළ එම ඕව­ර­යෙන් සූර්ය­වංශිට (7) සහ ෂෙජ්ට (3) රැස් කළ හැකි වූයේ ලකුණු 10ක් පමණයි.

මේ තර­ගයේ ලකුණු 265 හඹා යෑමේදී ලකුණු 75කට කඩුලු 2ක් බිඳ වැටී තිබි­යදී පිටි­යට පිවිසි සදීර සම­ර­වි­ක්‍රම පසු පෙළ පිති­ක­රු­වන් සමඟ එක්ව ඉනිම ගොඩ­නැඟූ අතර, පන්දු 113කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 93ක් රැස් කළ ඔහු 8 වැනි කඩුල්ල දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 261ක් විය. වනුජ සහන් (25), විජ­ය­කාන්ත් විය­ස්කාන්ත් (18) සහ චාමික ගුණ­සේ­කර (18) ඔහුට ඉනිම ගොඩ­නැ­ඟී­මට අනගි සහ­යක් ලබා දුන්නා.

ඉන්දීය පිල වෙනු­වෙන් සූර්යන්ෂ් ෂෙජ් පන්දු 66කින් ලකුණු 72ක් සහ විප්රාජ් නිගම් පන්දු 49කින් ලකුණු 51ක් රැස් කළ අතර, මේ තර­ගා­ව­ලි­යේදී පිට පිට තෙවැනි වර­ටත් ලකුණු අත­රට පිවි­සී­මට අව­ස්ථා­වක් හිමි නොවූ වෛභව් සූර්ය­වං­ශිගේ ඉනිම පන්දු 14කදී ලකුණු 21කට සීමා විය.

පන්දු යැවී­මේදී විජ­ය­කාන්ත් විය­ස්කාන්ත් සහ මොහො­මඩ් ශිරාස් කඩුලු 3 බැගින් දවා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *