free web stats

වනිඳු හොඳම පන්දු යවන්නන් 10 අතරට

බටහිර ඉන්දීය කොදෙව්හිදී නිමා වූ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දස්කම් මත යළිත් වරක් ලොව හොඳම විස්සයි20 පන්දු යවන්නන් 10 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 6ක් ඉදිරියට ඒමට සමත් වූ වනිඳු හසරංග ශ්‍රේණිගත ලකුණු 668ක් සමඟ 8 වැනි ස්ථානයට පත්ව තිබේ.

මේ තරගාවලියේදී වනිඳු තරග 3ක් ක්‍රීඩා කරමින් කඩුලු 7ක් බිඳ දැමුවේ ලකුණු 87කට වේ.

මහීෂ් තීක්ෂණ ඒක ස්ථානයක් ඉදිරියට එමින් 11 වැනි තැනට පත්ව ඇති අතර, දුනිත් වෙල්ලාලගේ ස්ථාන 11ක් ඉදිරියට ඒම කැපී පෙනෙනවා.
ඔහු සිය හොඳම ශ්‍රේණිගත කිරීම ලෙස 17 වැනි ස්ථානයට සමව හිමිකම් කියන අතර, ශ්‍රේණිගත ලකුණු 640ක් ලබා තිබෙනවා. දුෂ්මන්ත චමීර (46) ස්ථාන 10ක් ඉදිරියට පැමිණ ඇත. විස්සයි20 තරගාවලියේ වීරයා වූ ශමර් ජෝසප් (27) ස්ථාන 42ක් සහ ජේසන් හෝල්ඩර් (28) ස්ථාන 11ක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.

පිතිකරුවන් අතර පැතුම් නිශ්ශංක 5 වැනි තැන රැඳී සිටින අතර, කමිල් මිෂාර ස්ථාන 24ක් ඉදිරියට එමින් 18 වැනි තැනට පත්ව ඇත්තේ සිය හොඳම ශ්‍රේණිගත ලකුණු (657) වාර්තා කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *