ජනපති අනුර ප්‍රංශ සංචාරයකට සූදානම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජුලි මස 16වැනිදා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
මෙම තොරතුරු අනාවරණය වූයේ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ප්‍රංශ තානාපතිවරයා ප්රමුඛ ප්‍රංශ ආයෝජකයින් කණ්ඩායමක් අතර පැවති විශේෂ හමුවකදී.
එහිදී අදහස් දැක්වූ ප්‍රංශ තානාපතිවරයා ප්‍රකාශ කළේ, ප්‍රංශ ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සඳහා දැඩි උනන්දුවක් පවතින බවයි.
ආයෝජක කණ්ඩායමේ ප්‍රධානත්වය දැරූ CMA CGM ආයතනයේ ප්‍රධාන නියෝජ්‍ය සභාපතිනි ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය සඳහන් කළේ, තම සමාගම ලොව පුරා ප්‍රධාන වරායන්හි බහාලුම් පර්යන්ත 65කට අධික සංඛ්‍යාවක් මෙහෙයවන ප්රමුඛ පෙළේ සමාගමක් බවයි.
කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම හේතුවෙන් බහාලුම් ප්‍රතිඅපනයන කටයුතු පුළුල් කිරීමේ විශාල හැකියාවක් පවතින බව පෙන්වා දුන් ඇය, හවුල් ආයෝජන හරහා බහාලුම් ප්‍රවාහන පරිමාව තවදුරටත් ඉහළ නැංවීමට අවධානය යොමු කර ඇති බව සඳහන් කළා.
එමෙන්ම කොළඹ වරායේ බටහිර පර්යන්තයේ දෙවන අදියර ව්‍යාපෘතිය පිළිබඳවද තම සමාගම අධ්‍යයනය කරමින් සිටින බව ඇය ප්‍රකාශ කළා.
දැනට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පැමිණෙන බහාලුම්වලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් CMA CGM සමාගම සතු බවත්, එම ධාරිතාව තවදුරටත් ඉහළ නැංවිය හැකි බවත් ඇය පැවසුවා.
තවද තම සමාගම සතු ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ හැකියාවන් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රය සංවර්ධනය කිරීමට සහාය ලබාදීමට සූදානම් බවද ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය අවධාරණය කළා.
කොළඹ වරායේ උපාය මාර්ගික වැදගත්කම හඳුනාගෙන ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ආයෝජක කණ්ඩායමට සිය ස්තූතිය පළ කළ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, කොළඹ වරාය ඉන්දියානු සාගර කලාපයේ ලෝක මට්ටමේ ප්‍රධාන නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම රජයේ ඉලක්කය බව පැවසූවා.
ඒ සඳහා ජාත්‍යන්තර ආයෝජකයින්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

