free web stats

වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා අද සිට වන්දි

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත් ගොවීන් සඳහා අද දින රක්ෂණ වන්දි මුදල් අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු සලසා ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්කයන්හී සියලුම ගොවීන් හට එළැඹෙන 15 වැනි දිනට පෙර වගා හානි වන්දි ගෙවීමට කටයුතු යොදා තිබේ.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල වී, බඩ ඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන්ට හානි සිදුව තිබේ.

එම සිදුවූ වගා හානි පිළිබඳව ගොවීන් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරීන් විසින් කඩිනමින් වගා බිම් වෙත ගොස් වගා හානි පරීක්ෂා කිරීම සිදුකර හානි සිදුවූ වගා බිම් ප්‍රමාණය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් ගොවීන්ගේ ගිණුම්වලට නිදහස් කිරීමට තීරණය වී තිබුණි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක පමණ ප්‍රමාණයක් රජය විසින් මේ වන විටත් වෙන් කර ඇති බවයි.

මෙහිදී හානියට පත් වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්ථාපල්, සොයා සහ මිරිස් යන භෝග 06ක් සඳහා හෙක්ටයාරයක් සඳහාරුපියල් ලක්ෂයක මුදලක් ලෙස උපරිම අක්කර 05ක් සඳහා වන්දි මුදල් ලබා දීම සිදු කරන බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *