free web stats

ගාසා තීරයේ කාන්තාවන්ට එරෙහි හිංසනය ශීඝ්‍රයෙන් ඉහළට

ගාසා තීරයේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදුවන හිංසනයන්, විශේෂයෙන්ම බාලවයස්කාර සහ බලහත්කාර විවාහයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වේ.

යුද්ධයෙන් බැටකන ගාසා තීරයේ පවතින දිගුකාලීන අර්බුදය හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් ලිංගික හා සමාජීය හිංසනයන්ට (GBV) ගොදුරු වීමේ දැඩි අවදානමක් නිර්මාණය වී ඇති අතර, මේ වසරේ දෙවන කාර්තුව වන විට වයස අවුරුදු 12ත් 17ත් අතර ගැහැණු ළමයින්ගේ බාලවයස්කාර විවාහයන් පළමු කාර්තුවට වඩා 123%කින් ඉහළ ගොස් තිබේ.

පවතින දැඩි සාගින්න සහ දිළිඳුකම හමුවේ, තම පවුලේ අනිත් දරුවන්ට ආහාර ලබාගැනීම වෙනුවෙන් වයස අවුරුදු 14ක කුඩා දියණියන්ව පිටි මලු දෙකකට හුවමාරු කරමින් විවාහ කර දුන් අතිශය ඛේදනීය සිදුවීම් රැසක් අවතැන් කඳවුරුවලින් වාර්තා වේ. මීට අමතරව, ස්ත්‍රී දූෂණයට ලක්වන දැරියන්ව සමාජ අපකීර්තියෙන් බේරාගැනීමට යැයි පවසමින් දූෂකයන්ටම විවාහ කර දීමේ ප්රවණතාවක්ද කඳවුරු තුළ ගොඩනැගෙමින් පවතින බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගිය වසර තුන පුරා පැවති යුද වාතාවරණය හේතුවෙන් ගාසා තීරයේ සමාජීය ව්‍යුහයන් සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති අතර, පාසල් වැසී යාම නිසා දරුවන්ගේ අධ්යාපනයද ඇනහිට ඇත. ඉස්ලාමීය අධිකරණ ක්රියාත්මක නොවීම නිසා බාලවයස්කාර විවාහ වැළැක්වීමට තිබූ නීතිමය ආවරණයන් පවා අහිමි වී තිබේ.

විශාල වශයෙන් දෙමාපියන් මියයාම නිසා අනාථ වූ දැරියන්ගේ නඩත්තු වියදම්වලින් නිදහස් වීමට ඥාතීන් විසින් ඔවුන්ව ඉතා කුඩා වයසින් බලහත්කාරයෙන් විවාහ කර දීමට පෙළඹී ඇත.

කුඩා වයසින් සිදුවන මෙම විවාහ හේතුවෙන් සිරුර පූර්ණ ලෙස නොවැඩුණු දැරියන් අතර ගැබ්ගැනීම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම, මන්දපෝෂණය සහ නොමේරූ ශාරීරික තත්ත්වය හමුවේ මෙසේ ගැබ්ගන්නා දැරියන් දැඩි සංකූලතාවලට මුහුණ දෙන අතර, ගබ්සාවීම් සහ අඩු බර සහිත දරුවන් උපත ලැබීමේ අවදානමද අතිශය ඉහළ ගොස් ඇති බව වෛද්‍ය සංවිධාන අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *