ගුවන්යානය පැහැර ගැනීමට තැත් කළ සහය නියමුවා අත්අඩංගුවට
ඩුබායි නුවර සිට ඊශ්රායලයේ ටෙල් අවීව් නගරය බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන්යානයේ පාලනය සියතට ගැනීමට උත්සාහ කළ එම යානයේ සහායක නියමුවා සවුදි ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සවුදි අරාබියේ ටබූක් ගුවන්තොටුපොළට හදිසි ගොඩබැස්මක් සිදු කිරීමෙන් පසු අදාළ සැකකාර ගුවන් නියමුවා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ගුවන්යානය ගමන් ආරම්භ කළ එක්සත් අරාබි එමීර් රාජ්යයට භාර දීමට නියමිත බව ඊශ්රායල අගමැතිවරයා ෆොක්ස් පුවත් සේවයට සඳහන් කර තිබේ.
අදාළ නියමුවා සම්බන්ධයෙන් දැනට සවුදි අරාබියේදී පරීක්ෂණයක් පැවත්වෙන බව ද වාර්තා වෙනවා.
ගුවන්යානය පැහැර ගැනීමට සහායක නියමුවා ගත් උත්සාහය මැඬ පැවැත්වීමේදී ප්රධාන නියමුවා සමඟ ඇතිකරගත් ගැටුමේදී තුවාල ලැබූ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මූලික ප්රතිකාර ලබා දීමෙන් පසුව බව ද වාර්තා වේ.
ඔහු ඕමාන ජාතිකයකු බව මීට පෙර වාර්තා වුවද, ඔහුගේ පුරවැසිභාවය මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැති බවත්, ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට එක්වී වසරකටත් පමණ පෙර බවත් වාර්තා වේ.
මේ සිදුවීමට ඉරානයේ සම්බන්ධතාවක් තිබේදැයි ප්රකාශ කිරීමට තවමත් වේලාසන වැඩි බව ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්රකාශ කර තිබෙනවා.
ඔහු මේ ප්රකාශය සිදු කර ඇත්තේ වාර්තාකරුවන් නැඟූ ප්රශ්නයකට ප්රතිචාර දක්වමින් බව ද වාර්තා වේ.

