IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව
ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්රී ලංකාව ක්රියාත්මක කරන ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.
මෙම සමාලෝචනය ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්රී ලංකාවට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්ය පහසුකමක් ලබාගැනීමට හැක.
ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්රී ලංකාවට මෙතෙක් ලබාදී ඇති සමස්ත මූල්ය සහාය අමෙරිකානු ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යාමට නියමිතයි.
2027 අයවැය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම එම අනුමැතියට පෙර අවශ්ය බව ජාත්යන්තර මූල්ය අරමුදල සිය නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා.
ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකා දූත මණ්ඩල ප්රධානී පෙන්වා දෙන්නේ අඛණ්ඩව ඇතිවූ ආර්ථික කම්පන මධ්යයේ වුවද ශ්රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවයි.
2026 වසරේ දෙවැනි කාර්තුවේ ශ්රී ලංකා ආර්ථිකය සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව වර්ධනය වාර්තා කළ 11 වැනි කාර්තුව බව ජාත්යන්තර මූල්ය අරමුදල සඳහන් කළා.
මැද පෙරදිග යුද්ධය දිගුකාලීනව පවතින්නේ නම්, ජාත්යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම්වලට අනුකූලව දේශීය ඉන්ධන මිලද ගැලපීමට ඉඩ දිය යුතු බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

