පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන මූල්ය වර්ධනයක්
2025 වසරේ මුල් මාස අටට සාපේක්ෂව මේ වසරේ මුල් මාස අටේදී රාජ්ය අය-වැයේ රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා කර ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
එමෙන්ම මෙම මස 02 වැනිදා වන විට මෙරට විදේශ නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.93 දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්රී ලංකා මහ බැංකුවේ සංඛ්යාන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වෙන්නේ.
2026 වසරේ මුල් මාස අට තුළ රජයේ මුළු ආදායම සහ අනුදාන සියයට 21.2කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4,002.3ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
එම කාලසීමාව තුළ රාජ්ය වියදම් සියයට 6.9කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3,966.9ක් ලෙස සටහන් වුණා.
2025 වසරේ මුල් මාස අටේ පැවැති රුපියල් බිලියන 411.0ක අය-වැය හිඟයට සාපේක්ෂව මෙවර මෙම රුපියල් බිලියන 35.4ක අතිරික්තය වාර්තා කිරීමට රජයට හැකි වී තිබෙනවා.
එසේම 2026 ජූනි අග වන විට මධ්යම රජයේ මුළු ණය ප්රමාණය රුපියල් බිලියන 31,278.43ක් ලෙස වාර්තා වෙනවා.
2026 අගෝස්තු අග වන විට ශ්රී ලංකාවේ නිල විදේශ සංචිත ප්රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක් (ඩොලර් බිලියන 6.93ක් පමණ) දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම 2026 මුල් මාස අට තුළ අපනයන ආදායම සියයට 3.3කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් මිලියන 9,377ක් වූ අතර, ආනයන වියදම සියයට 24.1කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් මිලියන 16,557ක් වුණා.
ආනයන වියදම් මෙලෙස ඉහළ යෑම හේතුවෙන් වෙෙළඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 7,180 දක්වා පුළුල් වී තිබෙනවා.
තවද, 2026 ඔක්තෝබර් 02 වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 6.2කින් පිරිහීමට ලක්ව තිබෙනවා.
මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.75 මට්ටමේ වෙනස් නොවී පැවැති අතර, වාණිජ බැංකුවල ප්රමුඛ ණය නිකුත් කිරීමේ බරිත සාමාන්ය පොලී අනුපාතිකය (AWPR) සියයට 11.04 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන්.
2026 වසරේ දෙවැනි කාර්තුවේදී (Q2) ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එම කාර්තුව තුළ රැකියා විරහිතභාවය සියයට 4.0ක් ලෙස වාර්තා වී තිබෙනවා.

