පාකිස්තානය විස්සයි විස්ස තරගාවලිය ජය ගනියි
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීම පාකිස්තාන කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.
ඒ දෙරට අතර පැවැති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 82කින් ජයගනිමින්.
පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 215ක දැවැන්ත ලකුණු සංඛ්යාවක් රැස් කළා.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සාදාකත් පන්දු 51කින් නොදැවී ලකුණු 96ක් ලබා ගත් අතර, නායක සාහිබ්සාදා ෆර්හාන් පන්දු 44කින් ලකුණු 73ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණයි.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 32ක් සහ චමිඳු වික්රමසිංහ ලකුණු 29ක් රැස් කළා.
පාකිස්තාන කණ්ඩායම පන්දු යැවීමේදී මොහොමඩ් ඉම්රාන් ලකුණු 11කට කඩුලු 3ක් සහ සල්මාන් මිර්සා ලකුණු 28කට කඩුලු 2ක් බිඳහෙළමින් ශ්රී ලංකා ඉනිම ලකුණු 133කට සීමා කිරීමට් සමත් වුණා.
තරගය පැවැත්වුණේ, රාවල්පින්ඩි හිදීයි.

