චාමර සම්පත් 23 වැනිදා දක්වා රිමාන්ඩ් – Update
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දිසානායක මහතා ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
ප්රාථමික කර්මාන්ත රාජ්ය ඇමැති ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්ර ලබාදීම සඳහා පුද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81 ක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
චාමර සම්පත් අත්අඩංගුවට – Update
අල්ලස් කොමිසම හමුවේ ප්රකාශයක් ලබා දීමට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විධිමත් ක්රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් 03ක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත පොස්පේට් අපනයනයට අවශ්ය බලපත්ර ලබා ගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
සිදුකෙරන එම විමර්ශනයට අදාළව ඒ මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී ඒ මහතාගෙන් පැය 3කට අධික කාලයක් ප්රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
චාමර සම්පත් මහතා ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්යවරයා ලෙස සිටි සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තා ද මෙම විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිට්යි.
චාමර සම්පත් අද අල්ලස් කොමිසම හමුවට
රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව, හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ අද (12) පෙනී සිටීමට නියමිතයි.
මෙම සිද්ධියට අදාළව ප්රකාශයක් ලබාගැනීමට මන්ත්රීවරයාට පසුගිය 09 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබුණා.
එදින අල්ලස් කොමිසම හමුවේ ඔහු පෙනී නොසිටි අතර ඒ වෙනුවට අද (12) දින ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම්දී ඇති බව සඳහන් වේ.
චාමර සම්පත් දසනායක මහතා 2022 වසරේ සැප්තැම්බර් 08 සිට 2024 වසරේ සැප්තැම්බර් 23 දක්වා ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්යවරයාව සිටියදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීමට නිසි ක්රමවේදයකින් තොරව බලපත්ර ලබාදීමට එවකට ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා විසින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේයැයි කියන සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා මෙම කැඳවීම අල්ලස් කොමිසම විසින් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැති අය ද අල්ලස් කොමිෂන් සභාව විසින් පසුගිය සැප්තැම්බර් 22 වැනි දා හෝ ඊට ආසන්න දිනකදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

