free web stats

ඇල්බේනියාවේ අගමැතිට එරෙහි සිසු විරෝධතා

අල්බේනියාවේ අග්‍රාමාත්‍ය එඩි රාමාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් එරට සිසුන් සහ පුරවැසියන් ආරම්භ කළ විරෝධතා මේ වන විට අඛණ්ඩව හත්වන දිනටත් ප්‍රචණ්ඩකාරී ගැටුම් දක්වා වර්ධනය වී තිබෙනවා.

විශ්වවිද්‍යාලවල පවතින දුර්වල පහසුකම්, රට තුළ ඉහළ ගොස් ඇති දූෂණය සහ අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම මෙම විරෝධතාවල ප්‍රධාන ඉල්ලීම් වේ.

මෙම ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 186 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 295 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ටිරානා අගනුවර පිහිටි පොලිස් ස්ථානයකට සහ රජයේ ගොඩනැගිලිවලට ද ප්‍රහාර එල්ල වී ඇත.

මෙම විරෝධතා පිටුපස යුරෝපයේ සහ අමෙරිකාවේ ඇතැම් අඳුරු බලවේග ඇති බවට අගමැති එඩි රාමා චෝදනා කරන අතර, රාජ්‍යය එවැනි ක්‍රියා සමඟ සාකච්ඡා නොකරන බව පවසමින් ඔහු දැඩි ස්ථාවරයක පිහිටා සිට්යි.

බිම් මට්ටමේ තත්ත්වය සැලකීමේදී, විරෝධතාකරුවන් පදික වේදිකාවල ගල් ගලවා පොලිසියට එරෙහිව ආයුධ ලෙස භාවිතා කරන ආකාරය දක්නට ලැබුණු අතර, ඊට ප්‍රතිචාර ලෙස පොලිසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ ගම්මිරිස් ස්ප්‍රේ (pepper spray) භාවිතා කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කර ඇත.

පොලිසියේ මෙම අවිධිමත් හා දැඩි ක්‍රියාමාර්ග නිසා විරෝධතාවලට සම්බන්ධ නැති සාමාන්‍ය පුරවැසියන් පවා අත්අඩංගුවට පත්ව ඇති බව මානව හිමිකම් නීතිඥයෝ පෙන්වා දෙයි.

කිසිදු නිල නායකයෙකු නොමැතිව, සිසුන්ගේ සහ තරුණ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් ඉදිරියට ඇදී යන මෙම විරෝධතා හේතුවෙන් මේ වන විට ඇල්බේනියානු දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්කාරී හා අවිනිශ්චිත වාතාවරණයක් උද්ගත වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *