free web stats

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කරන්න

පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූවා.

77 වැනි නිදහස් දිනය නිමිත්තෙන් බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පූජාවට ඊයේ (04) උදෑසන එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

රාජ්‍ය නායකයා බලය සහ වරප්‍රසාද භුක්ති නොවිඳ ජාතියට සේවය කිරීමට නීත්‍යනුකූලව බැඳී සිටින නව නීති සම්පාදනයක් හඳුන්වා දිය යුතු යැයි ද උන්වහන්සේ මෙහිදී පැවසූවා.

ජනාධිපති ව්‍යවස්ථාව නමැති ඒකාධිපති ක්‍රමයට පාර කපා දුන් නීති රාමුව තුළ නායකයන් තමන්ට ලැබුණු අසීමිත බලය අවභාවිත කළ බව කියා සිටි කාදිනල් හිමි, මෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතීන් අතර පහසුවෙන් විසඳා ගැනීමට තිබූ විරසකයක් යුද්ධයකට හරවා රට තුළ භීෂණකාරී තත්ත්වයක් උදා කළ බව කියා සිටි­යා.

ඉන් අනතුරුව පත්වූ පාලකයන් විසින් මාධ්‍ය මර්දනය, මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම්, සුදු වෑන් සංස්කෘතිය හා විරුද්ධවාදීන් සිරගත කිරීම ආදි භීෂණ ක්‍රියා ද 90 දශකයේ සිට නිර්මාණය කළ බව උන්වහන්සේ පැවසූවා.

විනාශකාරී යුද්ධය නිසාවෙන් මවුබිම ගැඹුරු ආර්ථික පරිහානියකට ගොදුරු වූ බවත් පැවසූ උන්වහන්සේ, මෙම ගමන්මඟ පසුගිය දශක දෙක තුළ වඩාත් උත්සන්න වූ බව ද කියා සිටි­යා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *