free web stats

දළදා වන්දනාව සදහා රාජ්‍ය තාන්ත්‍රිකයින් දුම්රියෙන් මහනුවරට

වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව”අද (18) සිට ආරම්භ වන අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග රටවල් රැසක තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් එක්වීමට නියමිතයි.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක්වන මෙම කණ්ඩායම අද පෙරවරු 7ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් ආරම්භ කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත්වී රට තුළ සහජීවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවුඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබාගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මහනුවරට ළඟාවූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණි අතර එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබුණි.

එහිදී මෙම කණ්ඩායම සමග තවත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් එක්වීමට නියමිත අතර 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාලිගාව වෙත පැමිණීමට නියමිතයි.

පසුව එම දුම්රියෙන් නැවත මෙම කණ්ඩායම කොළඹ බලා පිටත්වනු ඇත.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහානා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වනදා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.

ආරම්භක දිනය වන අද (18) දින ප.ව 3:00 සිට ප.ව 5:00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12:00 සිට ප.ව 5:00 දක්වා එම අවස්ථාව උදා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *