ශ්‍රී ලංකා-නවසීලන්ත ‘ඒ’ කාන්තාවෝ අද සිට එක්දින සටනේ
සංචාරක නවසීලන්ත කාන්තා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (12) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00ට ආරම්භ වෙනවා.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සත්‍යා සන්දීපනිගේ නායකත්වයෙන් තරග වදින අතර, නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමේ නායිකාව ලෙස ජෙස් වොට්කින් කටයුතු කරනවා.
ආබාධයක් හේතුවෙන් ජාතික කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය අහිමි වූ විශ්මි ගුණරත්න ද මේ සංචිතයට කැඳවා ඇති අතර, 19න් පහළ කණ්ඩායමේ නායිකා චමුදි ප්‍රබෝධා සමඟ එම සංචිතයේ සිටින විමෝක්ෂා බාලසූරිය, සංජනා කාවින්දි සහ ලිමන්සා තිලකරත්න ද ඇතුළත්ව සිටිනවා.
මන්නාරම ප්‍රදේශයෙන් වේග පන්දු යවන්නියක ලෙස සතිස්කුමාර් සජින්තිනි ද මේ සංචිතයට එක්ව සිටීම විශේෂත්වයක් වේ.
ශ්‍රි ලංකා කණ්ඩායමේ නායිකා සත්‍යා සන්දීපනි කියා සිටියේ, අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන්ටත් පළපුරුද්දක් ලබාගන්න හොඳ අවස්ථාවක් බවත්, ප්‍රතිවාදීන්ට හොඳ සටනක් දෙමින් තරගාවලිය ජය ගැනීම බලාපොරොත්තුව බවයි.
15 දෙනකුගෙන් යුත් නවසීලන්ත සංචිතයට පළමු වරට එක්වන නවක ක්‍රීඩිකාවන් 8 දෙනකු ඇතුළත්ව සිටිනවා.
දෙපිල අතර දෙවැනි තරගය මේ 15 වැනිදාත්, අවසන් එක්දින තරගය 18 වැනිදාත් දඹුල්ලේදීම පැවැත්වීමට නියම්තයි.
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය
සත්‍යා සන්දීපනි, සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, විමෝක්ෂා බාලසූරිය, ලිහිණි අප්සරා, ලිමංසා තිලකරත්න, දෙව්මි විහංගා, සුමුදු නිසංසලා, රශ්මිකා සෙව්වන්දි, පියුම් වත්සලා, රන්දි ප්‍රේමරත්න, සතිස්කුමාර් සජින්තිනි, රශ්මි සිල්වා, චමුදි ප්‍රබෝධා, තාරුකා ශෙහානි.

