free web stats

කරාපිටියේ දොස්තර නෝනාගේ සල්ලි ඉස්සූ විකිරණ ශිල්පියා දැලේ

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ රුපියල් 11,000ක මුදලක් සොරකම් කළ රෝහලේ විකිරණ ශිල්පියකු සොරකම් කළ මුදල ද සමඟ අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරන 32 හැවිරිදි විකිරණ ශිල්පියෙකි. වෛද්‍යවරිය රෝගියකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට ගෙනැවිත් තම බෑගය දැඩි සත්කාර ඒකකය අසල වෛද්‍යවරුන්ගේ විවේකාගාරයේ තබා දැඩි සත්කාර ඒකකයට ගොස් ඇත. එසේ ගොස් සිටියදී රෝහලේ සේවකයන් කිහිපදෙනකු හොරෙක් හොරෙක් යනුවෙන් කෑ ගසා ඇති අතර, ඒ සමඟම වෛද්‍යවරිය පිටතට පැමිණ බැලීමේදී තම බෑගය විවෘත කර එහි තිබූ මුදල් සොරකම් කර ඇති බව දැක ඇත.

ඒ අනුව විවේකාගාරයේ සිට දුවගිය පුද්ගලයා ආරක්ෂක අංශය විසින් අල්ලාගෙන රෝහල තුළට ගෙනැවිත් ඇති අතර, එහිදී වෛද්‍යවරියගේ මුදල් සොරකම් කර ඇත්තේ ඔහු බවට අනාවරණය වීමෙන් පසු සැකකරු පොලීසියට භාර දී ඇත.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු රෝහලේ විකිරණ ශිල්පියකු වන අතර, ඔහු පිරමිඩ් ජාවාරම් සඳහා විශාල වශයෙන් මුදල් යොදවා ණය වී ඇති අයකු බවයි. සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *