ශ්‍රී ලංකා පිල මුහුණ දෙන තීරණාත්මකම තරගය අද
පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල මුහුණ දෙන තීරණාත්මකම මූලික වටයේ අවසන් තරගය අද (27) පස්වරු 6.30ට ආරම්භ කිරීමට නියම්තයි.
සත්කාරක පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන මේ තරගයේ ජය අවසන් තරගයට යෑම සඳහා ශ්‍රී ලංකා පිලට අනිවාර්යය වී ඇති අතර, පාකිස්තානය ජයගත හොත් ශුද්ධ ලකුණු වේගය මත සිම්බාබ්වේ පිලට අවසන් තරග වරම් උදාවනු ඇත.
එබැවින් ශ්‍රී ලංකා පිලට අද තරගය තවත් අවසන් මහ තරගයක් බවට පත්ව තිබේ.
පාකිස්තානය මේ වන විට අවසන් තරගයේ ස්ථානයක් වෙන්කර ගෙන සිටීම හේතුවෙන් මේ තරගයේ ප්‍රතිඵලයෙන් ඔවුන්ට බලපෑමක් සිදු නොවනු ඇත.
කෙසේ වෙතත් මෙවර තරග සංචාරයේදී පාකිස්තානය පරාජය කිරීමට ශ්‍රී ලංකා පිලට තවමත් නොහැකි වූ අතර, ශ්‍රී ලංකා පිල අවසන්වරට විස්සයි20 තරගයකදී පාකිස්තානය පරාජය කර ඇත්තේ 2022 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී දසුන් ශානකගේ නායකත්වය යටතේයි.
දෙපිල අතර විස්සයි20 තරග 25ක් පවත්වා ඇති අතර, ඉන් තරග 15ක් පාකිස්තානයත්, තරග 10ක් ශ්‍රී ලංකාවත් ජය ගෙන තිබේ.
ශ්‍රී ලංකා පිල අවසන් තරග පිළිබඳ බලාපොරොත්තු ජීවමාන කර ගත්තේ පෙරේදා රාත්‍රියේ පැවති සිම්බාබ්වේ පිලට එරෙහි තරගයේදීය. එම තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.
එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල කඩුලු 5කට ලකුණු 146ක් රැස් කළ අතර, පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ජය හිමිකර ගත්තේ ඕවර 16.2කදී කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමිනි.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 98ක් රැස් කළේ පන්දු 58කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟිනි. මේ ඉනිමත් සමඟ විස්සයි20 ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු රැස් කළ ශ්‍රී ලාංකික පිතිකරු බවට පත්වීමට පැතුම්ට හැකි විය. ඔහු තරග 77කදී ලකුණු 2326ක් රැස් කර සිටින අතර, කුසල් ජනිත් දෙවැනි තැන පසුවන්නේ තරග 91කදී ලකුණු 2305ක් රැස් කරමිනි. කුසල් මෙන්ඩිස් තරග 93කදී ලකුණු 2232ක් රැස් කර තිබේ. ලකුණු 12කට කමිල් මිෂාර දැවී යෑමෙන් පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25ක් රැස් කළේ පන්දු 25කිනි.
සිම්බාබ්වේ පිල වෙනුවෙන් නායක සිකන්දර් රාසා සහ රයන් බර්ල් ලකුණු 37 බැගින් රැස් කළ අතර, බ්‍රයන් බෙනට් ලකුණු 34ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවා ගත්හ.
මේ තරගයේදී 23 හැවිරිදි පවන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් දිනාගත් අතර, ඔහුට පන්දුවට පහර දීමේ අවස්ථාවක් හිමි නොවිණි.
මේ තරගාවලියේ අවසන් තරග අනිද්දා (29) රාවල්පිණ්ඩිහිදීම පැවැත්වේ.

