රුසියානු තෙල් ආනයනයෙන් ඉන්දියාව ඈත් වෙයි
රුසියාවෙන් තෙල් මිලදී ගැනීම හේතුවෙන් අමෙරිකාව විසින් පනවනු ලැබූ ඉහළ තීරු බදු අඩු කරගැනීමේ අරමුණින් ඉන්දියාව රටවල් 3කින් බොරතෙල් ආනයනය කිරීමට තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
බ්‍රසීලය සමඟ ඇතිකරගත් එකඟතාව පරිදි බොරතෙල් බැරල් මිලියන 12ක් මිල දී ගැනීම සඳහා ඉන්දියාවේ ප්‍රධානතම තෙල් පිරිපහදු සමාගමක් වන භාරත් පෙට්‍රෝලියම් සමාගම දැනටමත් පියවර ගෙන ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරය කේන්ද්‍ර කරගත් සමාගම් දෙකකින් බොරතෙල් බැරල් මිලියන 3ක් මිල දී ගැනීමට ද අවධානය යොමු කර ඇතැයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
ඇන්ගෝලාවෙන් තෙල් බැරල් මිලියන දෙකක් මිල දී ගැනීම සඳහා ඉන්දීය තෙල් සමාගම තීරණය කර ඇතැයි ද වාර්තා වේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම හේතුවෙන් වසර දෙකකට පසු ඉන්දියාව සහ රුසියාව අතර තෙල් වෙළෙඳාම පසුගිය දෙසැම්බර් මාසයේදී පහත වැටී ඇති බවත්, එය තීරු බදු අවම කරගැනීමට සහ අමෙරිකාව සමඟ නව වෙළෙඳ ගිවිසුමකට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට ඉන්දියාවට ඉවහල් වනු ඇතැයි ද වාර්තා වේ.

