free web stats

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (14) පස්වරවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අද පස්වරු 6ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසූවා.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇත.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (15) සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතයි.

අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අද දිනයේ අයවැය දෙවන වර කියවීයේ විවාදයේ ජන්ද විමසීමේදී ඊට එරෙහිව ජන්දය ප්‍රකාශ කරන බව විපක්ෂය පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පැවසුවේ මෙවර අයවැය ජනතාවට සහන නොදුන් අයවැයක් හේතුවෙන් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.

සමගි ජන බලවේගයද අයවැයට විපක්ෂව ජන්දය ප්‍රකාශ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *