යොවුන් ක්රීඩිකාවෝ පාකිස්තානයේදී පිට පිට 5 වැනි ජයත් ලබයි
ලිමංසා තිලකරත්න ඇතුළු පන්දු යවන්නියන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්රිකට් කණ්ඩායම පිට පිට 5 වැනි ජයග්රහණය වාර්තා කිරීමට ඊයේ සමත් විය.
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්රිකට් තරගාවලියේ මූලික වටය නිමා කරමින් ඊයේ පැවති තරගයෙන් ශ්රී ලංකා පිල හමුවේ බංග්ලාදේශය කඩුලු 8කින් පරාජය විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල ඕවර 17.3කදී ලකුණු 58කට සීමා කළ ශ්රී ලංකා ක්රීඩිකාවෝ ඕවර 10.4කදී ජයග්රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් දැවී තිබියදියි.
මේ තරගාවලියේදී ශ්රී ලංකා පිල හමුවේ බංග්ලාදේශය අඛණ්ඩව ලැබූ තෙවැනි පරාජය මෙයයි.
විමෝක්ෂා බාලසූරිය ලකුණු 22ක්, නෙත්මි උපේක්ෂා නොදැවී ලකුණු 17ක් ශ්රී ලංකා ඉනිමට එක් කළ අතර, සෙසු ක්රීඩිකාවන්ට අවස්ථාව දෙමින් මේ තරගාවලියේ සාර්ථකම පිතිකාරිනිය වූ සංජනා කාවින්දි ශ්රී ලංකා ඉනිම ආරම්භ කිරීමෙන් වැළකී සිටියා.
මයිමුනා නහර් ලකුණු 23ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, සාඩියා අක්ටර් ලකුණු 17ක් රැස් කළා.
සෙසු පිතිකාරිනියන්ට ලකුණු 10 සීමාවට පිවිසීමට ශ්රී ලංකා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබුණා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලිමංසා තිලකරත්න ලකුණු 13කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, දනෝද්යා සෙව්මිණි කඩුලු 2ක්, යෙෂාලි ජිතාර, චමුදි ප්රබෝධා, චමෝධි හේරත් සහ සනුකි පතිරගේ කඩුල්ල බැගින් දවා ගත්තා.
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය වේලාසනින්ම මේ තරගාවලියේ අවසන් තරගයේ ස්ථාන වෙන්කර ගෙන තිබූ අතර, එම තරගය හෙට (16) ෆයිස්ලාබාද්හිදීම පැවැත්වේ.
බංග්ලාදේශ 19න් පහළ කාන්තා පිල – 58 (ඕවර 17.3) මයිමුනා නහර් 23, සාඩියා අක්ටර් 17 (ලිමංසා තිලකරත්න 13/3, දනෝද්යා සෙව්මිණි 7/2)
ශ්රී ලංකා 19න් පහළ කාන්තා පිල – 59/2 (ඕවර 10.4) විමෝක්ෂා බාලසූරිය 22, නෙත්මි උපේක්ෂා නොදැවී 17, ලිමංසා තිලකරත්න නොදැවී 10

