21 වෙනිදා නුගේගොඩ එන සැමට රජයෙන් ආරක්ෂාව දෙනවා
නොවැම්බර් 21 වැනිදා විපක්ෂයේ රැලියට නුගේගොඩට එන සියලු දෙනාට රජය විසින් ආරක්ෂාව සහ පහසුකම් ලබා දෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
බත්තරමුල්ලේ පිහිටි ජාතික ශිල්ප සභා පරිශ්‍රයේදී ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත කෞතුකාගාරය නව මුහුණුවරකින් එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (17) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී හස්ත කර්මාන්ත කෞතුකාගාරයට අමතරව අත්කම් නිර්මාණ මිලදී ගැනීම සඳහා අලෙවි කුටියක්, තොරතුරු දැනගැනීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් සමඟින් පුස්තකාලයක් අරඹනු ලැබූවා.
කෞතුකාගාරය නැරඹීමට මෙරට පාසල් සිසුන්ට නොමිලේ අවස්ථාව හිමි වේ. දේශීය සහ විදේශීය සංචාරකයන්ට ද මෙය නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ කෞතුකාගාරයත් කෞතුක වෙලා තිබුණේ. ජාතික ශිල්ප සභාවේ පැරැණි ශිල්පීන්ගේ දක්ෂතා තිබෙන හස්ත කර්මාන්ත නිර්මාණ කලාකෘති විශාල ප්‍රමාණයක් ගොඩගහලා තිබුණා. අපි මේ කළේ අලුත් කිරීමක් පමණයි. නව පෙනුමක් නව මුහුණුවරක් ලබාදීමයි.නොවැම්බර් 21 නුගේගොඩට එන අයට මෙතනටත් එන්න පුළුවන්.
ලබන 21 වැනිදා නුගේගොඩට එන හැමෝටම ආරක්ෂාව දෙනවා. පහසුකම් දෙනවා. ඒ අයට එහෙම එන්න අයිතියක් තියෙනවා. විපක්ෂයේ පක්ෂ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හිරේට යනකොට එකට එකතු වුණා. ඒ නායකයෝ මලෛයම් ජනතාවට පඩිය වැඩ කරනකොට විරුද්ධ වෙනවා. ඒ අය ඉන්නෙ කාගේ පැත්ත ද කියලා ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්. රනිල්ට එක විදියට සලකන්න එකතු වෙන විපක්ෂය මහත්වරු ටික ජනතාවට රජයෙන් දෙයක් දෙනකොට ඒකට විරුද්ධ වෙන්නේ ඇයි?
ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්, මලෛයම් ජනතාවට සහනයක් ලැබුණේ නැත්තේ ඇයි කියලා. අපි නෙමේ ආණ්ඩුවේ හිටියේ. අද මේ විරුද්ධ වෙන අය තමයි බහුතරයක් එදා ආණ්ඩු කළේ. ඒගොල්ලෝ එකතු වෙන්නේ හොරු ආරක්ෂා කරන්න. හොරකම් ආරක්ෂා කරන්න. තමන්ගේ නායකයෝ හොරකම් කරපුවාගෙන් බේරගන්න. ඒවට එකතු වෙන හයිය අහිංසක ජනතාව වෙනුවෙන් නැහැ. ඒ විපක්ෂය පෙනී සිටින්නේ කාගේ පැත්ත ද කියලා ඒකෙන් තේරෙනවා.
මලෛයම් ජනතාවත්, අනිකුත් සියලු ජනතාවත් අපේ ජනතාව හැටියටයි අපි තේරුම් ගන්නේ. අපි විපක්ෂයේ ඉන්නකොටත් ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. උතුරේ නැඟෙනහිර ජනතාව වගේම වැඩිම පීඩාවට පත්වෙන ජන කොටසක් තමයි කඳුකරයේ ජීවත් වෙන ජනතාව.
ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හෙටත් ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා. ජනතාවගෙන් ඉල්ලන්නේ මේ අය ගැන පුදුම වෙන්න එපා. පාර්ලිමේන්තුවේ වතුකරේ නියෝජනය කරන අයට එදා ඡන්දෙ දුන්නේ නැත්නම් වතුකරයට යන්න හම්බවෙන්නේ නැහැ. ඒ අය ආණ්ඩු පක්ෂයත් එක්ක එකතු වුණා නෙවෙයි.
ආණ්ඩුව ඉදිරිපත් කරපු යෝජනාවත් එක්ක පක්ෂ වුණා විතරයි. ඒ යෝජනාවට සහාය දෙන්නෙ නැතුව ඒ අයට වතුකරයට යන්න හම්බවෙන්නේ නැහැ. විපක්ෂය වෙන් වෙන්නෙත් පැවැත්ම වෙනුවෙන්. එකතු වෙන්නෙත් පැවැත්ම වෙනුවෙන්. අපිට වඩා තාක්ෂණය දියුණු රටවල් නවීන තාක්ෂණයත් එක්ක, සංචාරක කර්මාන්තයත් එක්ක පුරාවිද්‍යා වටිනාකම් ඒකාබද්ධ කර තිබෙනවා. එමඟින් විශාල වටිනාකමක් ඇති කරගෙන තිබෙනවා. බතික් කර්මාන්තයේ සායම් වර්ග, රෙදි වර්ග විශාල මිලක් ගෙවලා ඒ අය ගන්නවා. ඒවා සහන ක්‍රමයකට ලබා දෙන්න සැලසුම් කර තිබෙනවා.
වේවැල් ආනයනය කරන්න වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ බට කපං යන්න ගියොත් පොලීසියෙන් අල්ලනවා. වන සංරක්ෂණ නීති රීති පැනවෙලා තිබෙනවා. එම නීති රීතිවලින් නිදහස් කරලා ඒ අයට වගා බිම් ලබාදීමටත් අපේ සැලැස්මක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය භූමි හඳුනගෙන නිසියාකාරව සිදු කළොත් මේ භාණ්ඩවල මිල අඩු කරන්න පුළුවන්. මේ භාණ්ඩවල මිල ජනතාවට ළඟා විය හැකි තත්ත්වයට පත් කළ යුතුයි. ඒ සඳහා අමුද්‍රව්‍ය මිල අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.”

