free web stats

ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ අදහස වෙනස් කර ගනී

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ උත්සාහය හේතුවෙන් අමෙරිකාව සහ යුරෝපය අතර සතියකට වැඩි කාලයක් ඇදී ගිය මතභේදය නිමාවට පත් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා රටවලට පනවනු ලැබූ 10%ක අතිරේක තීරුබද්ද ඉවත් කරගන්නා බවත්, ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීම සඳහා හමුදා බලය භාවිත නොකරන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට පෙරේදා සහභාගි වූ අමෙරිකානු ජනාධිපතිවරයා එම අවස්ථාවට එක්වූ රාජ්‍ය නායකයන් හමුවේ මේ ප්‍රකාශය සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය දෙවැනි ධුර කාලයේ පළමු වසර සම්පූර්ණ වූ බවත්, මාස 12ක කාලයකට පසු අමෙරිකාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවත් සඳහන් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්, බයිඩ්න් පරිපාලනය යටතේ ‘එකතැන පල්වීමේ‘ ඛේදවාචකයකට මුහුණ දුන් අමෙරිකාව ඔසවා තැබීමට ඔහු සමත්වූ බව ප්‍රකාශ කර තිබෙනවා.

‘රටේ ආර්ථිකය ඉහළ ගියා. උද්ධමනය අඩු වුණා. අමෙරිකාව තමයි පෘථිවියේ ආර්ථික එංජිම. අපේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙද්දී ලෝක ආර්ථිකයත් වර්ධනය වෙනවා. එය පිපිරී ගියොත් ලෝකයම පිපිරී යනවා.‘ ජනාධීපති ට්‍රම්ප් එසේ සඳහන් කළ බව වාර්තා වෙනවා.

ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීමෙන් අමෙරිකාවට පමණක් නොව නේටෝ ප්‍රජාවටත් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකි බව ඔහු සඳහන් කර ඇතැයිද, ග්‍රීන්ලන්තය සම්බන්ධව සිය තීරණය වෙනස් වූයේ අනාගත ගනුදෙනුවකට අවශ්‍ය රාමුගත වැඩපිළිවෙළක් සඳහා නේටෝ සංවිධානයේ මහලේකම් මාර්ක් රුට් එකඟ වීමෙන් පසුව බවද ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

යුරෝපා රටවල අතිරේක තීරුබද්ද ඉවත් කරන බවටත්, ග්‍රීන්ලන්තය අත්කර ගැනීමට හමුදා බලය භාවිත නොකරන බවටත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථික සමුළුවේදී ප්‍රකාශ කළද, එම සමුළුව අතරතුරදීම අමෙරිකා-යුරෝපා වෙළෙඳ ගිවිසුම අත්හිටුවීමේ තීරණය යුරෝපා සංගමය විසින් නිවේදනය කළ බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *