ඊජිප්තු-ගාසා දේශසීමා දොරටුව මාස 20කට පසු යළි විවෘතවේ
ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර යුද ගැටුම් හේතුවෙන් වසා දැමූ ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීමේ ප්රධානතම දේශසීමා ප්රවේශය ලෙස සැලකෙන ඊජිප්තු-ගාසා දේශසීමාව මාස 20කට පසු නැවත විවෘත කළ බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
වසර 2024 මැයි මාසයේ සිට වසා දැමූ ‘රෆා‘ දේශසීමා දොරටුව නැවත විවෘත කිරීමත් සමඟ පලස්තීනුවන් දේශසීමාව ඔස්සේ ඊජිප්තුවට සහ ගාසා තීරයට සංචාරය කිරිම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරයි.
රෆා දේශසීමා දොරටුව නැවත විවෘත කිරීම පසුගිය වසරේ ඔක්තෝබරයේ ක්රියාත්මක වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ සාම සැලසුමේ පළමු අදියරේ යෝජනාවක් වුවද, පසුගිය සතියේදී අවසන් ප්රාණ ඇපකරුවාගේ මළසිරුරත් නැවත භාරදෙනතුරු ඊශ්රායල රජය එම යෝජනාව ක්රියාත්මක කිරිම ප්රමාද කළ බව වාර්තා වේ.
පලස්තීන තුවාලකරුවන් විසිදහසක් පමණ ප්රතිකාර සඳහා ගාසා තීරයෙන් පිටවීමට රෆා දේශසීමාව අසළ රැඳී සිටින බව ලෝක සෞඛ්ය සංවිධානය ප්රකාශ කර ඇති අතර, ඊශ්රායල රජය සඳහන් කර ඇත්තේ ඒ සඳහා දිනකට රෆා දේශසීමාවෙන් පිටවීමට අවසර ඇත්තේ රෝගීන් 50 දෙනකුට පමණක් බවයි.
යුද්ධය අතරතුර ගාසා තීරයෙන් පිටවූ පලස්තීනුවන්ට ද දිනකට 50 දෙනකු බැගින් නැවත පැමිණීමට අවසර ලබා දී ඇතැයි ද වාර්තා වේ.

