ඉදිරියේදී විදුලි අර්බුදයකට මුහුණ දීමේ අවදානමක්
නොරොච්චෝල (ලක්විජය) බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇති මහා පරිමාණ දූෂණ ක්‍රියාවලියක් හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ දරුණු විදුලි අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ජාතින නිදහස් පෙරමුණේ නායක, හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස පැවසූවා,
“රජය විසින් සිදු කරන ලද ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම් සහ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය හේතුවෙන් සිදුව ඇති රුපියල් කෝටි 31,000කට අධික පාඩුව විදුලි ගාස්තු වැඩි කිරීම හරහා පාරිභෝගිකයා මත පැටවීමේ සූදානමක් පවතිනවා.
සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී කැඳවිය යුතු ගල් අඟුරු ටෙන්ඩරය කිසියම් පාර්ශ්වයක වුවමනාව මත 2025 අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා හිතාමතාම ප්‍රමාද කළා. එසේම ටෙන්ඩර් පිරිවිතරයන් සංශෝධනය කරමින් මීට පෙර පැවති මිලියනයක අවම ගල් අඟුරු සැපයුම් පළපුරුද්ද ලක්ෂය දක්වා අඩු කර ඇත්තේ දූෂිත ඉතිහාසයක් සහිත ඉන්දියානු සමාගමකට මේ ටෙන්ඩරය දීමේ අරමුණින්. මීට පෙර දූෂණයට අතවැනීමක් ලෙස හැඳින්වූ හදිසි මිලදී ගැනීම් (Spot Tenders) සඳහාම කැබිනට් මණ්ඩලය මේ වන විට අනුමැතිය දී තිබෙනවා.
අදාළ විදේශීය සමාගම විසින් මේ දක්වා මෙරටට ගල් අඟුරු නැව් තුනක් ගෙන්වා තිබෙනවා. එම නැව් තුනෙහිම අඩංගු වන්නේ ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු බව තහවුරු වී තිබෙනවා. ගිවිසුම් ප්‍රකාරව නැව් දෙකක් ප්‍රමිතියෙන් බාල වුවහොත් එම ටෙන්ඩරය අවලංගු කළ යුතුයි. නමුත් රජය තවදුරටත් එම සමාගමට ඉඩ දී තිබෙනවා. බලාගාරයේ ක්‍රියාකාරීත්වය සඳහා නැව් 38ක් අවශ්‍ය වුවත් වාරකන් කාලය ආරම්භ වීමට පෙර ගොඩබා ඇත්තේ නැව් 3ක් පමණයි. ඉතිරි නැව් 35 නියමිත කාලයට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් නොරොච්චෝල බලාගාරය අක්‍රිය වීමේ අවදානමක් පවතිනවා. එවැනි තත්වයකදී අධික පිරිවැයක් දරා ඩීසල් බලාගාරවලින් විදුලිය උත්පාදනය කිරීමට රජයට සිදු වෙනවා.”

