free web stats

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලියේ ජය

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් ව්ය.

කෙසේ වෙතත් තරගාවලියේ මුල් තරග දෙක ජය ගැනීම හේතුවෙන් 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.

ශ්‍රී ලංකා කාන්තා පිල කොදෙව්හිදී එක්දින තරගාවලියක් ජය ගත්තේ වසර 23කට පසුව වීම කැපී පෙණුනා.

මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම සම්මාන දිනා ගැනීමට සමත් වූවා.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 217ක් රැස් කළ අතර, ඕවර 46කදී එම ඉලක්කය පසු කළ කොදෙව් පිලට අහිමි වූයේ කඩුලු 4ක් පමණයි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ හේලි මැතිව්ස් විශිෂ්ට ශතකයක් රැස් කරමින් කොදෙව් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා.

පන්දු 119කින් ගොඩනැඟුණු එම ඉනිම හතරේ පහර 13ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

ස්ටෙෆානි ටේලර් ලකුණු 38ක් සහ චිනෙලි හෙන්රි නොදැවී ලකුණු 32ක් ඉනිමට එක් කළා.

පන්දු යැවීමේදී මල්කි මදාරා කඩුලු 2ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේදී නායිකා චමරි අතපත්තු ලකුණු නොලබා දැවී ගිය අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 70ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවා.

කවිෂා දිල්හාරි නොදැවී ලකණු 45ක්, හසිනි පෙරේරා ලකුණු 27ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 26ක් ඉනිමට එක් කළා.

පන්දු යැවීමේදී හේලි මැතිව්ස් සහ කරිෂ්මා රාම්හරක් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *