ඉරාන ජනාධිපති බ්‍රික්ස් සංවිධානයෙන් කළ ඉල්ලීම
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය පසුබිම සමථයකට පත් කිරිම සඳහා කලාපීය ආරක්ෂක රාමුවක් සකස් කිරිමට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෂ්කියන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය අගමැතිවරයා වත්මන් සභාපතිත්වය දරන බ්‍රික්ස් සංවිධානයට මේ ගැටුම් විසඳීම සඳහා වැදගත් භූමිකාවක් ඉටු කළ හැකි බව ද ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි වාර්තා වෙනවා.
යුද අර්බුදය මධ්‍යයේ නරේන්ද්‍ර මෝදි සමඟ දුරකතන සංවාදයක නිරත වූ ඉරාන ජනාධිපතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැතිවරයා තීරණාත්මක යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හෙළා දකිමින් ජාත්‍යන්තර නැව් මාර්ගය සුරක්ෂිත කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද ප්‍රහාර නැවැත්වීමට සහ නැවත එවැනි ප්‍රහාර සිදු නොවන බවට සහතික විය යුතු බවයි.
බටහිර ආසියාවේ මැදපෙරදිග රටවලින් සමන්විත ආරක්ෂක රාමුවක් ඔහු යෝජනා කර ඇති අතර, ඒ සඳහා බ්‍රික්ස් සංවිධානය හරහා මැදිහත් වන ලෙස ඉරාන ජනාධිපතිවරයා නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටි බව වාර්තා වෙනවා.

