අලුත් අවුරුද්දට ජනතාවට දෙන සහන කියන්න
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට ලබාදීමට සුදානම් වන සහන පිළිබඳව ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසූවේ,
‘‘මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇතිවන බලපෑම් කළමනාකරණය කර ශ්‍රී ලංකාවේ ජනතාවට මැදපෙරදිග යුද්ධයෙන් වන බලපෑම අවම වන ආකාරය පිළිබඳව මතු කරන්න සමගි ජන බලවේගය නිතරම කටයුතු කරනවා. නමුත් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් එල්ල නොවන බවත් එය කළමනාකරණය කරගත හැකි බවත් ආණ්ඩු පාර්ශ්වයේ පිරිස් නිතරම ප්‍රකාශ කළා. කෙසේ නමුත් මැදපෙරදිග යුද්ධය හමුවේ ආණ්ඩුව යම් කලබලකාරි තත්ත්වයකට මුහුණ දී තිබෙන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. මෙම අර්බුදයේ බැරැරුම්තාවය පිළිබඳව ආණ්ඩුවට කිසිදු දැනුම්වත්භාවයක් නැහැ. එවැනි දැනුම්වත්භාවයක් තිබුණානම් මේ අර්බුදය යම් මට්ටමකට පාලනය කර ගැනීමට හැකියාව තිබුණා. මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමේ පෙරනිමිති ජනවාරි මාසයේ සිට පහළවෙමින් තිබුණා. නමුත් එම පෙරනිමිති ආණ්ඩුව හඳුනාගත්තේ නැහැ. නමුත් මේ වන විට මැදපෙරදිග යුද්ධය ශ්‍රී ලංකාවට බලපා තිබෙනවා. එය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව මේ වන විට අපොහොසත් වී තිබෙනවා.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට ලබාදීමට සුදානම් වන සහන පිළිබඳව ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතුයි. නමුත් ආණ්ඩුව අද වනතුරු එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. නමුත් ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරු ආණ්ඩුව බේරා ගැනීමේ ව්‍යාපෘතියක නිතර වී සිටිනවා. ජනතාවට සහන දෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ කිසිම සූදානමක් නැහැ.

