‘සාගරිකා’ දුම්රිය අද සිට යළි ධාවනයට
පසුගියදා පිලී පැනීමට ලක්වු ‘‘සාගරිකා‘‘ දුම්රිය අද (27) සිට යළි ධාවනය සදහා එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පැවසුවේ අදාළ දුම්රිය අද (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බවයි.
පසුගිය 24 වනදා බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේදී පිලීපැනීමට ලක් වූ අතර එහිදි දුම්රියේ මැදිරි 13න් 11ක් පිලීපැනීමට ලක්විය.
එමෙන්ම පිලී පැනීමට ලක්වු සාගරිකා දුම්රියේ ගමන් කළ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු දුම්රිය ධාවන කටයුතුවලින් තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් වන තුරු ඔවුන් දුම්රිය ධාවන කටයුතු සදහා සහභාගී කර නොගැනීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව එම දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයා මෙලෙස දුම්රිය ධාවන කටයුතු සදහා සහභාගී කර නොගැනීමට තීරණය කර ඇත.
මේ අතර දුම්රිය පරිපාලනයේ අඩුපාඩු වසා ගැනීම සදහා අනතුරට පත් ‘සාගරිකා‘ දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
එහි කැදවුම්කරු ඉන්දික දොඩම්ගොඩ මහතා පෙන්වා දෙන්නේ තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රියන් ධාවනයෙන් ඉවත් වීමටත්, වේග සීමාවන්ට අනුකූලව දුම්රිය ධාවනය කිරීමටත් දුම්රිය රියදුරු සංගමය මේ වන විට තීරණය කර ඇති බවයි.

