U.N.P හා සජබ එකතු කරන්න යම් යන්ත්‍රණයක් අවශ්‍යයි
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය නියෝජනය කරන පාක්ෂිකයන් ගම් මට්ටමින් එකතු වී සිටින බවට ප්‍රකාශ කළත් පක්ෂ දෙකේ නායකයන් නිල වශයෙන් එකතු වනතෙක් එය සාර්ථක එකතුවීමක් නොවන බව එජාප උප සභාපති, මහනුවර දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා පවසනවා.
පක්ෂ දෙකක් නිල වශයෙන් එකතුවීම සඳහා යම් යන්ත්‍රණයක් අවශ්‍ය බවත් එය කුමක්ද යන්න සම්බන්ධව සාකච්ඡා වෙමින් පවතින බවත් ඒ මහතා පැවසූවා.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එජාප මහනුවර දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා වැඩිදුරටත් පැවසූවේ,
එක්සත් ජාතික පක්ෂය ගම් මට්ටමින් ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ලබන මාසයේදී ආරම්භ කරනවා.
සජබ හා එජාප කියන්නේ පක්ෂ දෙකක්. ලාංඡන දෙකක් යටතේ මේ පක්ෂ ලියාපදිංචි කර තියෙන්නේ.
මේ පක්ෂ දෙක එකතු කරන්න නම් යම් යන්ත්‍රණයක් අවශ්‍යයි. ඒක මොකක්ද කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. පක්ෂ දෙක එකතු වෙන්න ඕනෑ කියන තැන මිනිස්සු ඉන්නවා. ඒ හැඟීම පැහැදිලිවම ගම් මට්ටමින් පේන්න තියෙනවා. නමුත් ඒ එකතුවීම නිල වශයෙන් විය යුතුයි. ඒක නිල නොවන විදිහට වෙන්නේ නැහැ. සංඛ්‍යා ලේඛන අනුව එජාප පාක්ෂිකයෝ ලක්ෂ 15ක් පමණ ඉන්නවා. ඒ අය ඡන්දය නොදී ඉන්නේ ජයග්‍රහණයක් නොපෙනෙන නිසයි. සජබත් ඒක පිළිගන්නවා. ඒ අය ඡන්දපළට ගේන්න නම් අපි එකතු වෙන්න ඕනෑ. සජිත්ට ජනපතිවරණයේදී මිලියන 4.2 ක් ලැබුණා. මහ මැතිවරණයේදී ඒක අඩු වුණා. ප්‍රාදේශීය සභා ඡන්දයේදීත් ඒක උඩට ආවේ නැහැ. එක්සත් ජාතික පක්ෂ ඡන්ද තමයි මේ දෝලනය වෙන්නේ. පරණ යු.එන්.පී කාරයෝ ලක්ෂ තිස් පහක් විතර ඉන්නවා. ආණ්ඩුව පරද්දන්න නම් ඒ අයගේ ඡන්ද අවශ්‍යයි. තනියම කරන්න පුළුවන් කියා කවුරුවත් හිතන්න හොඳ නැහැ.
එජාපය හා සජබ එකතු වෙන්න කියලා දිස්ත්‍රික් කමිටු මඟින් යෝජනා කරනවා. ජූනි මාසයේ සිට පක්ෂයේ වැඩ කටයුතු ගම් මට්ටමින් ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අලුත් සංවිධායකවරු පත් කරනවා. කැඩිලා ගිය පිරිස් එකතු කර ගනිමින් නව දේශපාලන ගමනකට අපි ලෑස්ති වෙනවා. පක්ෂයට නව මුහුණුවරක් ලබා දෙන්න ඕන. දූෂිත පුද්ගලයින් ගාව ගන්න හොඳ නැහැ. බඩු මිල දිනෙන් දින ඉහළ යනවා. ආණ්ඩුවට ආර්ථික කළමනාකරණය නැහැ. පොදු සංවර්ධන වැඩපිළිවෙළක් නැහැ. රනිල් විශාල දර්ශනයක් ඇති නායකයෙක්. එතුමා තමන්ගේ හැකියාව පෙන්නලා තියෙනවා. ආර්ථික අතින් රට අන්තිමට වැටිලා තිබියදී එතුමා රට ගොඩ ගත්තා. රනිල්ගේ රාමුව තුළ තමයි මේ ආණ්ඩුවත් යන්නේ. ජනාධිපතිවරණයට පෙර දුන්න පොරොන්දු ජනාධිපතිවරයා ඉටු කරලා නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩවල වැට් අඩු කරනවා කිව්වා. ඒක කළේ නැහැ. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත තමයි ආණ්ඩුව යන්නේ.

