ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩිකාවෝ අද අවසන් තරගයට
සංචාරක නවසීලන්ත ‘ඒ’ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (25) පෙරවරු 10.00ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා.
මේ වන විට ප්‍රබල නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහි පැවති මුල් තරග දෙක ජය ගනිමින් නවක ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරගාවලියේ ජය තහවුරු කර ගෙන ඇත්තේ 2-0ක් ලෙසිනි.
පළමු තරගය කඩුලු 3කින් ජයගත් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩිකාවෝ දෙවැනි තරගය ජය ගත්තේ ලකුණු 56කින් වේ.
පෙරේදා පැවති දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 5ක් දැවී ලකුණු 152ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට ඕවර 19.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 96ක් පමණයි.
ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න පන්දු 49කින් නොදැවී ලකුණු 57ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය මෙන්ම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනාගත් අතර, විමෝක්ෂා බාලසූරිය ලකුණු 33ක් සහ සංජනා කාවින්දි ලකුණු 27ක් ඉනිමට එක් කළා.
පන්දු යැවීමේදී ජෙස් වොට්කින් සහ හැනා රෝව් කඩුලු 2 බැගින් දවා ගත්තා.
එමා බ්ලැක් ලකුණු 28ක් රැස් කරමින් නවසීලන්ත ඉනිමේ ඉහළම ලකුණු රැස් කළ අතර, වෙනත් කිසිදු පිතිකාරිනියකට ලකුණු 11 පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.
තුන් ඉරියව් දස්කම් දැක්වූ දෙව්මි විහංගා පන්දු යැවීමේදී ලකුණු 19කට කඩුලු 3ක් දවාගත් අතර, චමුදි ප්‍රබෝධා ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත්තා.

