ක්‍රිකට් උපදේශක තනතුරින් අස්වූ ජයසූරිය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ උපදේශක තනතුරෙන් හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය මහතා ඉල්ලා අස් වී තිබෙනවා.
අලුතින් පත් කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුවට යොමු කළ ලිපියකින් ජයසූරිය කියා ඇත්තේ, ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ පත්වීම සහ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරය යන දෙකම සම්බන්ධයෙන් ඇතැම් සාමාජිකයන් ගැටලු මතු කර ඇති බව තමා දැනගත් බවයි.
මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමඟ තමාගේ සම්බන්ධතාව පිළිබඳ අදහස් දක්වමින් ජයසූරිය පැවසුවේ මාතර දිස්ත්‍රික්කයෙන් බිහි වූ ක්‍රීඩකයකු ලෙස මාතර ක්‍රිකට් සංවර්ධනය තම හදවතට සමීප බවයි.
කෙසේ වෙතත්, නව ක්‍රිකට් පරිපාලනයේ සාමාජිකයන් තම භූමිකාවන් දෙක පරස්පර විරෝධී ලෙස සලකන්නේ නම්, මාතර ක්‍රිකට් සංවර්ධනය සඳහා දායක වීමට තමා කැමැති බව ජයසූරිය සඳහන් කර ඇත.
තමා ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම් භාරගත්තේ රැකියාවක් අවශ්‍ය නිසා නොව, ජාතික කණ්ඩායමට දුෂ්කර කාල පරිච්ඡේදයකදී සේවය කිරීමට බවත් දේශීය පුහුණු කාර්ය මණ්ඩලය සහ ක්‍රීඩකයන් සමඟ එක්ව, කණ්ඩායමේ ප්රමිතීන් සහ විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට කටයුතු කළ බවත් සිහිපත් කර ඇත.

