රෝස පාට සුප් සැණකෙළිය
ලෝකයේ සෑම රටකටම සහ සංස්කෘතියකටම ආවේණික වූ අනන්‍යතා පවතිනවා.
ඉන් ප්‍රධානතම අංගයක් වන්නේ ඒ ඒ දේශයට ආවේණික වූ ආහාර සංස්කෘතියයි.
ඇතැම් සාම්ප්‍රදායික ආහාර, රටක ජාතික උරුමයක් බඳු වන අතර ඒවා සැමරීම සඳහා උත්සව පැවැත්වීම ද ලෝකයේ දක්නට ලැබෙන සුන්දර සංකල්පයකි.
යුරෝපයේ පිහිටි සුන්දර රාජ්‍යයක් වන ලිතුවේනියාව ද එවැනි අපූරු ආහාර සංස්කෘතියකට හිමිකම් කියනවා.
එරට ජනතාව තමන්ටම ආවේණික වූ, ඉතා රසවත් සාම්ප්‍රදායික සුප් වර්ගයක් වෙනුවෙන් වාර්ෂිකව සුවිශේෂී සැණකෙළියක් පවත්වනවා.
විල්නියස් රෝස සුප් උත්සවය ලෙස හැඳින්වෙන මෙම සුවිශේෂී උත්සවය පැවැත්වෙන්නේ ලිතුවේනියාවේ අගනුවර කේන්ද්‍ර කරගනිමින්වේ.
ලිතුවේනියානු භාෂාවෙන් ශල්ටිබර්ෂ්චියායි ලෙස හඳුන්වන මෙම රෝස පැහැති සුප් වර්ගය එරට ජාතික ආහාරයක් ලෙස සැලකෙනවා.
මෙය ප්‍රධාන වශයෙන්ම සකසන්නේ බීට්රූට් සහ කෙෆීර් නම් කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් භාවිතයෙනි.
ඊට අමතරව පිපිඤ්ඤා, විවිධ ඖෂධීය පත්‍ර සහ තැම්බූ බිත්තර ද මෙයට එකතු කර ශීත කළ ආහාරයක් ලෙස පිළිගන්වනු ලබනවා.
සාමාන්‍යයෙන් මැයි මස අග භාගයේදී හෝ ජුනි මුලදී පැවැත්වෙන මෙම සැණකෙළිය, මුළු නගරයම රෝස පැහැයෙන් වර්ණවත් කරනවා.
උත්සවයට පැමිණෙන දේශීය හා විදේශීය ජනතාව රෝස පැහැති ඇඳුම්වලින් සැරසී පැමිණෙන අතර මුළු නගරයම රෝස පැහැති සැරසිලිවලින් අලංකාර වන අයුරු ද මෙහිදී දැකගත හැකි වේ.
මෙම උත්සවයේ ජනප්‍රියම අංගයක් වන්නේ රෝස පැහැති පෙන හෝ දියර ඇතිරූ ලිස්සන බෝට්ටුවයි.
ඒ මතින් ලිස්සායාමට බාල මහළු සියළුදෙනාම දක්වන්නේ දැඩ් කැමැත්තක්.
මෙම උත්සවයට සෑම වසරකම පාහේ ලෝකය පුරා සිටින සුප්ලෝලීන් සහ සංචාරකයින් ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වන බවයි වාර්තා වන්නේ.
ලිතුවේනියානු ජනතාවට තම රටේ සංස්කෘතික අනන්‍යතාවය ලෝකය හමුවේ ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කිරීමට ලැබෙන කදිම අවස්ථාවක් ලෙස මෙම සැණකෙළිය හැඳින්විය හැක.

