මොණරකු පිට නැඟ ගත් කෙනෙක් දුටු ජපන් වෛද්‍යවරිය කතරගම නටපු කාවඩ්
කතරගම පුදබිමට පැමිණෙන හින්දු, බෞද්ධ හා මුස්ලිම් බැතුමතුන්ට අමතරව පසුගියදා ජපානයේ සිට බැතිමතුන් පිරිසක් තුන් මසක් පේවී මස් මංශයෙන් වැළැකී කතරගම පුදබිම වෙත පැමිණ කඳ කුමරු වන්දනාමාන කර ගත් පුවතක් වාර්තා වුණා.
ජපානයේ නගෝයා හි පෞද්ගලික රෝහලක සේවය කරන හෙදියන් 9ක් මෙසේ කතරගම වන්දනාමාන කර ගැනීමට පැමිණ සිටි අතර මේ පැමිණීම පිටුපස අපුරු කතා පුවතක් තිබෙනවා.
මස්මි මියාසකි ජපානයේ ආයුර්වේද ප්‍රතිකාර කරන වෛද්‍යවරියකි. ඇය ඒ පිළිබඳව මෙසේ පවසනවා.
මා බෞද්ධ විහාරස්ථානයකට ගොස් වැඳ පුදා ගෙන පැමිණ දිනක රාත්‍රීයේ මොණරකු පිට නැඟ ගත් කව්දෝ කෙනෙක් ඇවිත් මා දිහා බලා සිටින අයුරු දුටුවා.
මා එවැන්නක් කිසි දිනක දැක නෑ. පසුව මගේ මිතුරන් වෙත මෙහෙම හීනයක් දැක්කා කියා විමසුවා. මගේ මිතුරා පැවසුවේ එයා එහෙනම් දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා. පසුව මම අන්තර්ජාලයේ මම දුටු හීනෙන් දුටු රුවට සමාන දෙවියන් ගැන හොයා බැලුවා. එවිට මම දුටුවේ මුරුගන් කියලා දෙවි කෙනෙක් ගැනයි. මම විවේකයක් අරගෙන ඉන්දියාවට ගියා. එහිදී මුර්ගන් දෙවියන් ගැන දැන ගන්නට ලැබුණා. පසුව මට දැන ගන්න ලැබුණේ පෞරාණික සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් නිසියාකාරයෙන් පුද පූජා කරන එකම තැන කතරගම කියලා.
ඒ අනුව මම කතරගමට එක් වතාවක් පැමිණියා. මම පැමිණි දා කතරගම දෙවියන්ගේ පුංචි පින්තූරයක් අරගෙන ගිහින් ගෙදර තිබ්බා.
පසුව මට උසස් වීමක් ලැබුණා. එය මට අදහගන්නටත් බැරි දෙයක්. පස්සේ මම ඒ පින්තූරයට වඳින්න පුදන්න ගත්තා. මම වගේම මගේ ගමේ අයත් ඇවිල්ලා විවිධ වූ කරදර දුක් කියලා මේ දෙවියන්ට වඳින්න ගත්තා. මම ටික ටික දෙවියන්ගේ පුද පූජා භාණ්ඩ එකතු කරලා දැන් චූටි අසපුවක් හැදුවා. දැන් අපි දෙයියන් වෙනුවෙන් ජපානයේ ආශ්රමයක් බිහිකරලා ඉවරයි.
නමුත් පුද පූජා කටයුතු ගැන අපි දන්නේ නෑ. ඒ නිසා අපි කතරගම ආවා. අපිට කතරගම දේවාලේ බස්නායක නිලමේතුමා තිළිණ මධුසංක මහතා ගොඩක් දේවල් කියලා දුන්නා.
අපි බුදුන් වෙනුවෙන් පින්කම් කළා. කඳ සුරිඳු වෙනුවෙන් දින තුනක් දෙයියන්ගේ දානය දීලා දෙයියන්ට පින් දුන්නා. කාවාඩි නැටුවා. මම හිතුවාට වඩා කතරගම ඉතාමත් හොඳින් මුරුගෙන් දෙවියන්ට පූජා කරන තැනක් කියන එක ඔප්පු වුණා.
මම ජපානයට ගොස් කතරගම දෙවියන්ගේ හාස්කම් ගැන කියලා ජපානේ අයට කතරගම දෙවියන් ගැන ප්‍රචාරය කරලා බැතිමතුන් දැනුවත් කරනවා.
ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ හරි සිල්වත්. ශ්‍රී ලංකාවේ අයගේ සිනහව. සත්කාර සේවා ලෝකයේ කිසි රටක දක්නට ලැබෙන්නේ නෑ. යැයි ඇය පවසනවා.

