free web stats

ඉදිරි සති දෙක ගැන ට්‍රම්ප් ගෙන් ප්‍රකාශක්

ඉදිරි සති දෙක ඇතුළත අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

“අපි දැන් සාකච්ඡා පවත්වමින් ඉන්නවා, ඔවුන් ඉතා හොඳ ගිවිසුමකට එන්න කැමැත්තෙන් ඉන්නවා. ඔවුන් අපට සියල්ල ලබාදීමට සූදානම්, ඔවුන්ට න්‍යෂ්ටික අවි අවශ්‍ය නැති බව පැවසීමටත් ඔවුන් සූදානම්,” යැයි ට්‍රම්ප් එහිදී පවසා තිබෙනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ “මම හිතන්නේ අපි ඒ සටන ජයග්‍රහණය කරමින් ඉන්නවා. නමුත් ඉදිරි සති දෙක තුළ අපි සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරන විට ඔබ සැබවින්ම එය ජය ගනු ඇත. එය සම්පූර්ණ ජයග්‍රහණයක් වනු ඇති අතර එය ඉතා ඉක්මනින් සිදුවනු ඇත. එවිට තෙල් මිලද ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇත.” ලෙසයි.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රම්ප් විසින් සති දෙකක් ඇතුළත සැලකිය යුතු ප්‍රගතියක් ලබා දෙන බවට පොරොන්දු වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි.

අප්‍රේල් 7 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද ඉරානය සමඟ සටන් විරාමය, දෙපාර්ශවය අතර යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් අවසන් කරන තෙක් මුලින් සති දෙකක කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන ලදී.

ජනාධිපතිවරයා නැවත නැවතත් පවසන පරිදි ඉරානය ගිවිසුමකට එළඹීමට එතරම් උනන්දුවකින් පසුවන්නේ නම්, ඔවුන් මෙතෙක් ඊට එකඟ නොවූයේ මන්දැයි මාධ්‍යවේදියෙකු වැඩසටහනක් අතරතුර දී විමසූ විට ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ”මොකද ඔවුන් ශක්තිමත්. ඔවුන් ආඩම්බරයි. ඔවුන් කිසිදාක කරාවි කියා නොසිතූ, නමුත් දැන් ඔවුන්ට කරන්නට සිදුවන දේවල් තිබෙනවා. ඔවුන්ට වෙනත් විකල්පයක් නැහැ. ඒ සඳහා තව ටික කාලයක් ගතවනු ඇත.” ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *