ඊශ්‍රායල හමුදාව දිගින් දිගටම සටන් විරාමය බිඳ දමයි
ලෙබනන් රජය සහ ඊශ්‍රායල නියෝජිතයන් අතර අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ඇතිකරගත් සටන් විරාමය උල්ලංඝනය කරමින් ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ පළාත් රැසකට දැවැන්ත ප්‍රහාරමාලාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට ඉරානයෙන් කළ අනතුරු ඇඟවීමෙන් පසු දකුණු ලෙබනනයේ ජනතාවට වහාම ඉවත්වීමට නියෝග කළ ඊශ්‍රායල හමුදාව ඊට මොහොතකට පසු මේ ප්‍රහාරය සිදු කර තිබෙනවා.
දකුණු ලෙබනනයේ ටයිරි නගරයේ ගොඩනැඟිලි රැසක් ප්‍රහාරයෙන් විනාශ වී ඇතැයි වාර්තා වේ.
හෙස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට සහ නියමු ආරක්ෂණ කලාප ස්ථාපිත කිරීමට ලෙබනන් රජය එකඟවීමෙන් පසු ප්‍රකාශයට පත්වූ එම සටන් විරාමය බිඳ වැටී ඇත්තේ ඊට ඇතුළත් කොන්දේසි පිළිගත නොහැකි බව කියමින් හෙස්බුල්ලා සංවිධානය ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බවද වාර්තා වේ.
ලෙබනන් ප්‍රහාරවලට එරෙහිව ඉරාන හමුදාව ඊශ්‍රායලය වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ පසුගිය ඉරිදා දෙපාර්ශ්වය අතර අඛණ්ඩව ගැටුම් සිදුවී තිබුණා.
ජනතාව ඉවත් කරමින් ඊශ්‍රායල හමුදාව දැවැන්ත ප්‍රහාරමාලාවක් ආරම්භ කර ඇත්තේ ලෙබනනයට අඛණ්ඩව පහර දෙන්නේ නම් උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරමින් තවදුරටත් පහර දෙන බවට ඉරාන ආරක්ෂක හමුදාව අනතුරු අඟවා තිබියදී බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

