දැනට පවතින විපක්ෂය කාටුන් විපක්ෂයක්
දූෂිත දේශපාලනඥයන්ට උපරිම දඬුවම් ක්‍රියාත්මක කරන වත්මන් ආණ්ඩුවට අපේ ආශීර්වාදය ලබාදෙන බවත් රජය පෙරළීමට කවර කණ්ඩායමක් හෝ සංවිධානයක් උත්සාහ දරන්නේ නම් එය කිසිසේත් අනුමත නොකරන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අම්බලන්තොටදී පෙරේදා (13) පැවසූවා.
අද රටට අවශ්‍යව ඇත්තේ රටට ආදරය කරන විපක්ෂයක් හෙයින් දැනට පවතින විපක්ෂය කාටුන් විපක්ෂයක් බවද සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසූවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සරත් ෆොන්සේකා මහතා පැවසූවේ,
“වත්මන් ආණ්ඩුවට වසර පහක ජනවරමක් ලබාදී තිබෙනවා. එම ජනවරම යටතේ උපරිම ලෙස දූෂිතයන්ට දඬුවම් ලබාදීම ක්‍රියාත්මක වෙනවා. අපි රජයට ආශීර්වාද කරනවා. ආණ්ඩුව පෙරළන්න කවර හෝ කණ්ඩායමක් උත්සාහ කරන්නේ නම් අපි එය අනුමත කරන්නේ නැහැ. මේ අයට මෙම වසර පහ කරගෙන යෑමට ඉඩ දිය යුතුයි. ජනතාව ඊළඟට තීරණය කාරවි, මේ අය දිගට තියාගන්නවාද නැති නම්, වෙනත් කණ්ඩායමක් බලයට පත්කරනවාද යන්න. එසේ නැතිව දැනට කරගෙන යන වැඩ පිළිවෙළ හොඳ වැඩපිළිවෙළක් බව පෙනී යනවා.
අද රටට අවශ්‍ය වී ඇත්තේ උගත් බුද්ධිමත්, කාර්ය ශූර විපක්ෂයක්. අද තිබෙන විපක්ෂය කාටුන් විපක්ෂයක්. රටට ආදරයක් නැති විපක්ෂයක්. දවසේ මොනවා හරි කියලා ජනතාව හිනාගස්වන කාටුන් විපක්ෂයකින් වැඩක් නැහැ.
එම නිසා මෙම වසර පහ රජයට වැඩ කරගෙන යන්න, එයට සහය දැක්වීමට හොඳ විපක්ෂයේ කණ්ඩායමක් අවශ්‍ය වී තිබෙනවා.
දූෂිත දේශපාලනඥයන්, දූෂිත රජයේ නිලධාරීන් සිටින තාක්කල් මේ රට ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබෙනවා. එම නිසා නැවත රට බංකොලොත් කරපු අය දලුලාගෙන එන්න පටන් අරන් තියනවා. ජනතාව ඒ අයට පිළිතුරු ලබාදී තිබෙනවා.”

