free web stats

කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අල්ලයි

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි 38 හැවිරිදි සැකකරුවෙකු ගෝනහේන විශේෂ කාර්ය බලකා (STF) විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු, විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘පොඩි සුරේෂ්’ සහ ‘සංඛ සමීර’ යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන සාමාජිකයෙකු බව අනාවරණය වී ඇත.

විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (19) කඩවත, සාන්ත අන්ද්‍රේ අවිල්ලීනු දේවස්ථානය ඉදිරිපිට මාර්ගයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 288ක්, මත්ද්‍රව්‍ය කිරා බැලීමට ගන්නා විද්‍යුත් තරාදියක්, ජාවාරමෙන් උපයාගත් මුදල්, ප්‍රවාහනය සඳහා භාවිත කළ ත්‍රිරෝද රථය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගණේමුල්ල, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *