අධිකරණ ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට ආශීර්වාද කරනවා
අධිකරණ ඇමැතිවරයාට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක් ගෙන එන බවත් ඊට පිවිතුරු හෙළ උරුමයේ සහාය දක්වන බවත් එහි නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසූවා.
ඒ මහතා මෙසේ පැවසුවේ එම පක්ෂ කාර්යාලයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසූවා.
2022 සිට 2026 දක්වා වසර හතර තුළ පමණක් බන්ධනාගාරයේ සිටින සිරකරුවන් ගණන දෙගුණයකින් වර්ධනය වෙලා තිබෙනවා. මේ අයගෙන් 75%ක් රිමාන්ඩ් සිරකරුවන්. රිමාන්ඩ් සිරකරුවන් අතරින් 80%ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවන්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දක්ෂ නීතිඥයන්ගේ සේවය ලබාගෙන නඩුවලින් නිදහස් වෙනවා. අවසානයේදී හිරේ යන්නේ ඇබ්බැහි වූවන් විතරයි කියලා මත්ද්‍රව්‍ය විරෝධීන්ගෙන් ලොකු චෝදනාවක් තිබුණා. ඒ නිසා අඩුම ගණනේ ජාවාරම්කරුවන්ට ඇප ලබාගැනීම දුෂ්කර කර කරලා ඒ අයට යම් පීඩනයක් එල්ල කළ යුතුයි කියලා මත්ද්‍රව්‍ය විරෝධීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ ගෙනාපු මතයට නීතිමය ඉඩක් හදන්න 2022දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් නීති සංශෝධනයක් ගෙනාවා.
ඒ නීති සංශෝධනය අනුව මත්ද්‍රව්‍ය ශුද්ධ බර ග්‍රෑම් දෙකට වඩා වැඩියි නම් ඇප ලබාගත යුත්තේ අභියාචනාධිකරණයෙන්. ග්‍රෑම් දෙකට වඩා අඩුයි නම් සුපුරුදු පරිදි මහාධිකරණයෙන් ඇප ලබාගත හැකියි. මේ හරහා උත්සාහ කළේ ජාවාරම්කරුවා යාපනයේ හිටියත් ඇප ලබාගන්න කොළඹ අභියාචනාධිකරණයට පැමිණිය යුතුයි කියන විධිවිධානය හදලා ජාවාරම්කරුවන් මත දැඩි පීඩනයක් එල්ල කරන්න.
දැන් මොන උසාවියෙන්ද ඇප ඉල්ලන්න ඕනේ කියන එක තීරණය කරන්න නම් අත්අඩංගුවට පත්වුණු මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ ශුද්ධ බර ග්‍රෑම් දෙකට වැඩිද අඩුද කියන එක තීරණය කළ යුතුයි. ඒක තීරණය කිරීමේ හැකියාව තියෙන්නේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට පමණයි. ඔන්න ඔය නිසා තමයි රසපරීක්ෂක වාර්තා ප්‍රමාද වීමෙන් මේ ඇප ලබා ගැනීමේ අයදුම්පත්‍රය මොන උසාවියටද දාන්නේ කියන එක තීරණය කරගන්න බැරි වෙලා මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් ගණන ශීඝ්‍රයෙන් වැඩි වීමක් සිද්ධ වුණේ.
2022 මේ නීතිය ගෙනාවත් ඒ සමඟම ඇති වෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක 2022 සිට 2024 දක්වා බඳවා ගැනීම් නතර කරලයි තිබුණේ. එහෙමනම් 2024 සිට මේ දක්වා මිලදී ගැනීම්, බඳවා ගැනීම්වලට තිබුණු බාධාව 2024න් නතර වුණත්, 2024 සිට මේ දක්වා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කරන්න අධිකරණ ඇමැතිවරයා අසමත් වෙලා තියෙනවා. මේ ඇතුළු කරුණු රැසක් හේතුවෙන් ගෙන එන මේ විශ්වාසභංගයට අපේ සහාය ලබා දෙනවා.

