free web stats

චමරි වාර්තා පොත අලුත් කරයි

ක්‍රිකට් වාර්තා පොත අලුත් කරමින් නායිකා චමරි අතපත්තු ක්‍රියාත්මක කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාවට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 75ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් ව්ය.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 124ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දුනීසියානු ක්‍රීඩිකාවන්ට රැස් කළ හැකි වූයේ ලකුණු 49ක් පමණයි.

ඉන්දුනීසියානු ඉනිම බිඳ දැමූ චමරි අතපත්තු ඕවර 3.3කදී කඩුලු 7ක් දවා ගත්තේ ලකුණු 5ක් පමණක් ලබා දෙමිනි. එය විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලාංකිකයකු වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා පොතට එක් විය. එය කාන්තා ජාත්‍යන්තර විස්සයි20 පිටියේ හොඳම 5 වැනි පන්දු යැවීම ද විය.

මේ කඩුලු 7 අතරට කඩුලු ත්‍රිත්වයක් ද එක් කර ගැනීමට චමරි සමත් වූයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු විස්සයි20 ත්‍රිත්ව කඩුලුලාභිනිය බවට පත් වෙමිනි.

ලකුණු 5කට කඩුලු 4ක් දවාගෙන තිබියදී 19 වැනි ඕවරය ක්‍රියාත්මක කිරීමට පන්දුව අතට ගත් චමරි පළමු, දෙවැනි සහ තෙවැනි පන්දුවලින් පිළිවෙළින් නි. අරියානි (2), මේප්‍රියානි ගායනා (0) සහ දාරා පාරමිතා (0) දවා ගැනීමට සමත් වූවාය. පුත්‍රි සුවන්දේවි ලකුණු 12ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභිනිය වූ අතර, කවිෂා දිල්හාරි, සුගන්ධිකා කුමරි සහ කාව්‍යා කාවින්දි කඩුල්ල බැගින් දවා ගත්තා.

ඉන්දුනීසියානු පන්දු යවන්නියන් හමුවේ අසාර්ථක වූ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකාරිනියන් සිව්දෙනකුම ලකුණු 36ක් තුළ දැවී ගිය අතර, අංක 6 පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි නිලක්ෂිකා සිල්වා පන්දු 35කින් අර්ධ ශතකයක් රැස් කරමින් ඉනිම ගොඩනැඟුවාය. ඇයට අනගි සහයක් දුන් කාව්‍යා කාවින්දි (15) 7 වැනි කඩුල්ලට එක් කළ සබඳතාව ලකුණු 50කි. නිලක්ෂිකාගේ ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 124 සීමාවට පිවිසීමට අවස්ථාවක් ලැබුණා.

මේ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට පිරිනැමූ අතර, නිලක්ෂිකාගේ ඉනිම අගය කිරීමට අවශ්‍ය බව පවසමින් මේ සම්මානය නිලක්ෂිකා සමඟ බෙදා ගැනීමට චමරි කටයුතු කිරීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකා පිල සහභාගි වන මේ තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලබන ඉරිදා (6) බංග්ලාදේශය සමඟින් පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *