නියමිත පරිදි ජාතික මැතිවරණ පවත්වනවා
දේශපාලන විඥානයක් නැති පාර්ශ්වය, ජනතාව බියට පත් කිරීම සඳහා ආණ්ඩුව මැතිවරණ කල් දමන බවට විවිධ ප්රකාශ කළත් නියමිත පරිදි ජනාධිපතිවරණය, මහ මැතිවරණය පවත්වන බවත් පවතින නීතිමය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැතිවරණය ද පවත්වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.
‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ තේමාව මුල් කරගනිමින් සංවිධාන කර තිබූ ජනරැලි මාලාවේ පළමු අදියර කළුතර දිස්ත්රික්කය මුල්කරගනිමින් බුලත්සිංහල හා බේරුවල නගරවලදී ඊයේ (06) පැවැත්වුණා.
එහිදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟ වන ඡන්ද ක්රමය තීන්දු කළ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවත් තමා කිසිසේත්ම ජනතාවට වංගු ගසා පාලන බලය තබාගැනීමට උත්සාහ කරන්නේ නැති බවත් කී ජනාධිපතිවරයා, අපි හැමවෙලේම විශ්වාසය තබන්නේ ජනතාව කෙරෙහි පමණක් බවත් පැවසුවා.
ඒ නිසා ගම් මට්ටමින් ජාතික ජන බලවේගය ප්රබලතම දේශපාලන ව්යාපාරය ලෙස තවත් ශක්තිමත් කරමින් රට ගොඩනැඟීමේ ඓතිහාසික ගමනට දායක වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවසුවා.

