සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළට සම වෙන්න ආණ්ඩුවට බෑ
සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළ ආණ්ඩුව අනුගමනය කළාට සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළට සම වෙන්න ආණ්ඩුවට කිසිසේත් හැකියාවක් නොමැති බව හිටපු නියෝජ්ය ඇමැති බුද්ධික පතිරණ මහතා පවසනවා.
සමගි ජන බලවේග ප්රධාන කාර්යාලයේ ඊයේ (14) පැවති මාධ්ය හමුවට සහභාගි වෙමින් හිටපු නියෝජ්ය ඇමැති බුද්ධික පතිරණ මහතා මේ බව ප්රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසූවා.
“වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව තනි පක්ෂ පාලන ක්රමයක් සකස් කරන්න පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. ඒ වගේම තනි පක්ෂ පාලන ක්රමයක් රට තුළ ඇති වීමේ භයානක තත්ත්වය ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා 1950දී පෙන්වා දී තිබුණා. කෙසේ හෝ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා සකස් කළ පද්ධතිය භාවිත කරමින් 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය කිරීමේ සිට ආණ්ඩුබලය මෙන්ම රාජ්ය බලය ලබා ගැනීමේ විශාල කාර්යයක ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටිනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළට මුහුණදෙන්න සමගි ජනබලවේගය සූදානම්.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ තුළ ප්රජාතන්ත්රවාදය කියන වචනය දකින්න ලැබුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම ප්රජාතන්ත්රවාදයට බයයි. ඔවුන් විඥානවාදයට , ආගමට බයයි. නමුත් මෙම කණ්ඩායම බලය ලබාගත් පසු මෙම කාරණා දේශපාලන අවශ්යතා සඳහා යොදා ගනු ලබනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇතුල කණ්ඩායම ප්රජාතන්ත්රවාදයේ ප්ර අක්ෂරයටත් බයයි. කෙසේ නමුත් ප්රජාතන්ත්රවාදය පදනම් කර ගනිමින් සමාජ ප්රජාතන්ත්රවාදයත් සමාජ වෙළෙඳපොළත් ඉදිරියට ගෙන යන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමට ගන්නා උත්සාහයන්ට කොන්දේසි විරහිතව නැඟී සිටිනවා. ඒ වෙනුවෙන් පාරට බහින්නත් සමගි ජනබලවේගය සූදානම්.
ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුව රජරට ජනතාව රැස් කිරීමට පෙර සමගි ජනබලවේගය රජරට ජනතාව රැස් කරන්න කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් සමගි ජනබලවේගය අනුරාධපුරය කේන්ද්ර කරගත් පක්ෂ ප්රවර්ධන වැඩසටහන, පරිපාලන දිස්ත්රික්ක සහ මැතිවරණ දිස්ත්රික්ක ඉලක්ක කරගනිමින් සැලසුම්සහගත ක්රියාවලියක් දක්වා ගෙනයමින් තිබෙනවා. සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළ ආණ්ඩුව අනුගමනය කළාට සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළට සම වෙන්න ආණ්ඩුවට කිසිසේත් හැකියාවක් නැහැ. ඒ වගේම සියයට තුනක ඡන්ද ප්රතිශතයක සිටි පිරිස බලය ලබාගෙන එම බලය රැක ගැනීමට විවිධ දේශපාලන ප්රචාරක කටයුතුවල නිරත වෙනවා. ඒ වගේම බලය හිමි ජාතික ජනබලවේගයෙන් ගැලවී යන කොටස් එකතු කරන්න තවත් පක්ෂ කිහිපයක් මේ වනවිට දේශපාලන ප්රචාරක වැඩ කටයුතුවල නිරත වී සිටිනවා.
නමුත් බහුතරයක් ජනතාවට අත්හදාබලන්න නායකයන් රටේ නැහැ. ඒ නිසා විශ්වසනීය කණ්ඩායමක් සිටින, විශ්වාසනීය වැඩපිළිවෙළක් තිබෙන සමගි ජනබලවේගට පමණයි රට ගොඩනැඟීමේ හැකියාව තිබෙන්නේ.”

