ශ්රී ලංකා පාපන්දු පිල සීෂෙල්ස් පිල පරදවා ජය ගනී
දශක තුනකට පසු දකුණු ආසියානු පාපන්දු ශූරතාව යළි දිනා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ශ්රී ලංකා පාපන්දු පිල හා සීෂෙල්ස් අතර ඊයේ පැවති දෙවැනි ජාත්යන්තර මිත්රත්ව පාපන්දු තරගයෙන් ශ්රී ලංකා පිලට ගෝල් 2 – 0ක ජයක් හිමි කරගෙන තිබෙනවා.
මේ හේතුවෙන් ශ්රී ලංකා පිල ලෝක පාපන්දු ශ්රේණිගත කිරීමේ 186 වැනි ස්ථානයේ සිට තව දුරටත් ඉහළ යන අතර, 204 වැනි ස්ථානයේ සිටින සීෂෙල්ස් පිල පහළ යෑමේ අභියෝගයට මුහුණදී සිට්නවා.
සීෂෙල්ස් වික්ටෝරියා රොචේ කයිමන් ජාතික ක්රීඩාංගණයේ පැවැති මේ තරගයේ 32 වැනි මිනිත්තුවේදී ඩිලෝන් ද සිල්වා ශ්රී ලංකා පිල වෙනුවෙන් ගෝලයක් ලබා ගැනීමෙන් පළමු භාගය 1-0ක් ලෙස නිමාවූ අතර, 84 මිනිත්තුවේදී වසීම් රාසික් ශ්රී ලංකා පිලට දෙවැනි ගෝලය එක් කළා.
මෙයට දින කිහිපයකට උඩදී සීෂෙල්ස් සමඟ පැවැති පළමු තරගයේදී ගෝල් 3-0කින් සීෂෙල්ස් පරාජය වූ හෙයින් ශ්රී ලංකා පිල තරග 2-0ක තරගාවලිය ජයක් අත්කර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
සීෂෙල්ස් සිට ශ්රී ලංකා පිල අද දිනයේ මොරිසස් බලා පිටත්ව යන අතර, එහිදී ශ්රී ලංකා – මොරිසස් පළමු තරගය හෙට (2) හා දෙවැනි තරගය මේ 5 වැනිදා මොරිසස් අගනුවර ජාත්යන්තර පාපන්දු ක්රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ශ්රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමර් මහතාගේ සංකල්පයක් අනුව ඔවුන්ගේ නවතම ප්රවර්ධන ව්යාපාරය වන ‘Win SAFF Again’ වැඩසටහන අනුව මේ ජාත්යන්තර මිත්රත්ව තරගාවලි දෙක සංවිධාන කොට තිබේ.

